හදිසි ධනලාභ ඔබටත් උරුමද



අප තරුණ වියේ සිටියදී ගමේ ජීවත් වූ පිච්ච මල් බණ්ඩා මට තවමත් මතකය. විශාල ඉඩකඩම් ප්‍රමාණයක් තිබූ වලව්වක උපත ලැබූ ඔහු ඒවායේ එකම හිමිකාරයාද වූයේය. එහෙත් වයස විසි ගණන්වලින් පසුව 'ප්‍රාණකාරයාට දුමක් ගහන්නට බීඩි කොටයක්' ඉල්ලමින් යැද්දේය. බිලිඳු වියේ ඔහු නිදි කළේ පිච්චමල් ගොඩක් මත යැයි ගම්මු කීය. සල්ලි සම්පත් ඉඩකඩම්වල හැටි එහෙමය. අද මට හිමි දේ හෙට වෙනත් අයකුට අයිති වෙයි.


අඩි දහයෙන්, විස්සෙන් ගොඩනඟා තිබෙන යකඩ කටවල්වලින් කෑ ගසමින් කෝටි ගණන් දෙන්නට දඟලන අය පිරිලාය. අව්කාස්ටකේ දෙපයින් ඇවිදලා අත ළඟටම කෝටි ගණන් ගෙනෙන අයද සිටිති. පා පැදි හෝ යතුරුපැදිවලින් නැඟී ගත් වෙළෙන්දන්ද අපමණය. කෝටි දෙකක් වන ජනගහනය මෙන් තුන් හතර ගුණයකින් ඒවා විකිණී යයි. කෝටියක් දෙන්නට නම් කෝටි පනහක්වත් ඉපයිය යුතු වෙයි. තෑගි මුදල වැඩිවන්නට වැඩිවන්නට විකිණෙන ප්‍රමාණයද ඉහළ යන බව ඒවා කරවන ඇත්තෝ දනිති.


'රේස් බයි රේස් පොළකට' වී පිටරට දුවන අශ්වයන් පමණක් නොව බල්ලන් දෙසද කට අයා බලා සිටින අපේ මිනිසුන් සාක්කු හිස්වන බව දන්නේ නැත. ඊළඟ වාරයේ දිනන්නට සිතා ගෙදර පොඩිඑකාට පොත් අරගෙන දෙන්නට හෝ ගෙදර හැමෝටම කන්නට අතේ ඇති මුදල්ද අශ්වයාගේ හෝ බල්ලාගේ පිටේ යවති. ලැබෙන දෙයක් නැත. අන්තිමට හිමිවන්නේ පරාජයයි. එය අපේ පුංචි රටට පමණක් නොව ධනවත් යැයි කියන බටහිර හා පෙරදිග රටවලටද පොදුය. එවැනි අයට 'රේස් පිස්සන්' කියන්නේ ඒ හින්දාය.


බොලිවුඩ්, හොලිවුඩ්, කොලිවුඩ් ආදී වූ රටවල සිනමා නිෂ්පාදකයෝද මිනිසුන්ගේ දුර්වලකම්වලින් ප්‍රයෝජන ගනිති. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නම් වූ මනෝ විද්‍යාඥයා පෙන්වා දුන් ආකාරයට මිනිසුන්ගේ සිත් ඇද ගත හැකි ක්‍රමෝපාය වන්නේ යටි සිතට ඇමතීමයි. එහෙයින් චිත්‍රපට නිෂ්පාදනයේදී ආදරය, කාමය හා ප්‍රචණ්ඩත්වය ඇතුළත් කරන්නේ මුදල් ගරා ගැනීම සඳහා මිනිස් සිත් ඇදගැනීමටය.


සෑම ආකාරයකම මුදල් ගරාගැනීම් සඳහා මිනිසුන් උපයෝගී කරගන්නේ අප තුළ පවත්නා තණ්හාවයි. "තණ්හාය ජායතී ශෝකෝ-තණ්හාය ජායතී භයං" යනුවෙන් තණ්හාවෙන් බිය හා ශෝකය උපදින බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ වසර දහස් ගණනකට ඉහතදීය. එය වැඩියෙන් වටින්නේ එදාට වඩා අදටය. අපේ තණ්හාව නිසාම වසරකට කෙතරම් මුදලක් වැය කරනවාද? සමහරුන් දිනකට ලොතරැයි පනහ සීය මිලදී ගනිති. එහෙම බැරි අය වැඩ ඇරිලා යන ගමන් එකක් හෝ දෙකක් ගනිති. රුපියල් විස්සක් හෝ පනහක් ලැබුණු විට සතුටු වෙති. අද නැත්නම් හෙට දිනුමක් ඇදේ යයි සිතති. රේස් දමන අයද ඊට වෙනස් නැත. අපේ සිත් තණ්හාවෙන් පිරිලාය. කෙසේ හෝ ලොතරැයියක් දිනාගන්න නැත්නම්, අශ්වයෙක් අල්ලා ගන්න මහන්සි වී උපයන මුදල් නිර්ලෝභීව වැය කරන්නේ ඒ හින්දාය. "මේ ඔක්කොම කෙරුම් මැරෙනකම්" යැයි නොසිතා "මේ ඔක්කොමකම් පෝසත් වෙනකම්" යයි සිතති.


අප එහෙම දිනපතා මුදල් වැය කරන්න ඕනෑ නැත. රුපියල් තුන්සීයේ සිට ලක්ෂ ගණන්වලට මිල වන බඩ මහත රූපයක් හෝ බෙලි කට්ටක් හෝ ගල් කෑල්ලක් ගෙදර ගෙන ගොස් වතාවත් කළාම මුදල්, වස්තුව, සැප සම්පත් පහළ වෙයි. කාටද මුදලාලිලාටය. රුපියල් ලක්ෂ ගණන් වැය කරමින් වෙළෙඳ දැන්වීම් දමමින් හෝ රූපවාහිනියේ පැයක්, පැය භාගයක් වෙන් කරවාගෙන හෝ ප්‍රචාරය කරන මුදලාලිලා කියන්නේද අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තණ්හාවටය. මේක නම් ඇත්තක් යැයි සිතාගෙන කඩයක තිබෙන විරූපී පිළිමයක් හෝ වෙනත් 'පූජා භාණ්ඩයක්' හෝ 'වස්තුවක්' යැයි කියාගන්නා දෙයක් නිවෙසේ තබාගෙන පුද සත්කාර කරන ඇත්තන්ගෙන් කී දෙනෙකු ධනවත් වී තිබේද? තැරැව්කරුවන් නම් එසේ ආවඩනු ඇත. 'මට පොහොසත් වන්නට බැරිවුණා' යැයි මුදල් ආපසු ඉල්ලන්නට කිසිවකු යන්නේත් නැත. මේ ආකාරයෙන් හැමෝටම පොහොසත් විය හැකි නම් සිතූ පැතූ සම්පත් දෙන්නේ නම් අද වන විට මේ රට දුප්පතුන් නැති ලෝකයක් විය යුතුය. මෙය සත්‍යයක් නම් රජයට තිබෙන්නේ හැමෝටම මේ සම්පත් ලැබෙන මහාර්ඝ වස්තුව බැගින් දෙන එකය. එවිට ප්‍රශ්න කිසිවක් නැත. වර්ජන පෙළපාළි කරන්නට ඕනෑත් නැත. සහනාධාර දෙන්නට ඕනෑ වෙන්නේත් නැත. සමෘද්ධිමත් රටක් කරන්නට මෙපමණ ධනස්කන්ධයක් වැය කරන්නටද අවශ්‍ය වන්නේද නැත.
ඉඳහිටලා කෙනකුට ලක්ෂ ගණනක හෝ කෝටි ගණනක දිනුමක් ඇදෙයි. ඒ ප්‍රවෘත්තිය ඇසෙන විට අපේ තණ්හාව ඉස්මතු වී හිනා වෙයි. පසුදිනට ලොතරැයි වැඩියෙන් අලෙවි වෙයි. එහෙත් ගන්නා අයට ලැබෙන දෙයක් "තණ්හාය ජායතී ශෝකෝ" යි කියා ඇත්තේ ඒ හින්දාය. ඇයි? හැමදාමත් හෙට හෙට කියා හිතාගෙන හැමදාමත් පරදිති.


අපට වස්තු සම්පත් ලැබෙන්නේ පසුගිය භවයන්හිදී කරන ලද කුසල කර්මයන් අනුවය. එසේ නැත්නම් මහාර්ඝ වස්තූන් ළඟ තබාගෙන ඉන්නා හැමෝම කෝටිපතියන් විය යුතුය. හැමෝටම ලක්ෂ ගණන් වස්තු නොලැබෙනවා විය හැකිය. එසේ නොවන්නේ පෙර පින් මදි හින්දාය. හදිසි ධන ලාභ ලැබෙන්නට හෝ ධනවතකු වෙන්න හේතුවක් වාසනාවක් ඇතිදැයි යන්න නිවැරැදිව හඳහනෙන් කිව හැකිය.


සමහරු නීති විරෝධී මත් කුඩු බහාලුම් පිටින් ගෙනවුත් ප්‍රකෝටිපතියෝ වෙති. සමහරු විවිධ කූටෝපායයන් යොදති. තවත් අය එතනෝල් විකුණා මිනිස්සු ඉක්මනින් මැරෙන්න සලස්වා ධනය උපයන බව රහසක් නොවේ. 'බල්ලො මරා හරි සල්ලි හොයාගෙන' යන තේමාව පුරුදු අපේ අය මිනිසුන් මරලාත් සල්ලි හොයන්න ඉදිරිපත් වෙති. තවත් සුළු පිරිසක් ලොතරැයිවලින් හදිසි ධනය ලැබීමෙන්ද පොහොසත් වෙයි. අප රටේ පවත්නා තවත් අරුම පුදුමයක් වන්නේ ධනය ඇති තැනටම බලයද යෑමයි. නැත්නම් බලය ඇති තැනට ධනයද ගලා යෑමයි.


සමහරුන් පොහොසත් වන්නේ ලොතරැයි ඇදිලාවත්, වර්ණනා කරන වස්තුවක් ළඟ තබාගෙනවත්, අසාධාරණ නීති විරෝධී වැඩ කරලාවත් නොවේ. තමන්ගේ දහදිය මහන්සියෙන් හා බුද්ධියෙන් වැඩ කිරීමෙනි. මේ සඳහා ලංකාවෙන්ද සොයා ගත හැකි ඉතාමත් හොඳ උදාහරණ දෙකක් පෙන්විය හැකිය. එක් ව්‍යාපාරිකයකු මුලදී සුළු රැකියාවක යෙදෙමින් සිට දිවයිනේ අතිසාර්ථක වූ කෝටිපති ව්‍යාපාරිකයෙකි. අනෙක් පුද්ගලයා බේකරියක වැඩ කොට බිස්කට් අධිරාජ්‍යයක් බිහි කළ ව්‍යාපාරිකයෙකි. ඔවුන්ගේ වාසනා මහිමය කොතෙක්දැයි කියන්නට යොදා ඇති නම් දෙකම අක්ෂර විද්‍යාව අනුව අගුණදායක ඒවාය. ඒ කිසි දෙයක් ඔවුන්ට බලපෑවේ නැත. ඒ තරමට බලවත් ධන යෝග හඳහන්වල පැවැතිණි. එවැනි ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් කියන්නට ගියහොත් ලිපිය දිගු වනු ඇත.


මෙවැනි ආකාරයට සිය මහන්සියෙන් වැඩ කොට ධනවතුන් වන අයගේ හඳහනෙහි කන්‍යා රාශිය හඳහනේ කුමන ස්ථානයක් වුවත් එහි කුජ, සිකුරු, ශනි හා රාහු එකට සිටියදී උපත ලබන්නට ඇත. ඔබේ හඳහනේත් එවැනි පිහිටීමක් ඇත්නම් මහන්සි වී වැඩ කොට, ධනය ඉතිරි කොට, මොළය මෙහෙයවා ගැළපෙන ව්‍යාපාරයක් කිරීම සුදුසුය. වර්ගෝත්තම වූ එක් ග්‍රහයකු හෝ හඳහනේ තුන්වැන්නේ, පස්වැන්නේ හෝ නවවැන්නේ පිහිටා ඇත්නම් කුමන ආකාරයකින් හෝ ධනවතෙක් වන්නේ යැයි ජේ‍යාතිෂයෙහි සඳහන්ය. වර්ගෝත්තම යන්නෙන් අදහස් කරන්නේ ග්‍රහයකු ලග්න කුණ්ඩලියේ හා නවාංශක කුණ්ඩලියේ එකම රාශියක පිහිටීමයි.


ලග්නාධිපතියා නවාංශකයේ සිටින රාශිය අධිපති ග්‍රහයා හඳහනේ 5 වැන්නේ හෝ 9 වැන්නේ උච්ච බලයෙන් පිහිටා ඇත්නම් ඔහුටද ධනවත්ව සැප විඳීමේ වාසනාව තිබේ. එම ග්‍රහයා 11 වැන්න අධිපතියා සමඟ පිහිටා ඇත්නම් වයස තිහෙන් පසුව සැප විඳින ධනවතකු වීමේ වාසනාව රැගෙන ඉපදී ඇත. උපත ලබන අවස්ථාවේදී රාහු 11 වැන්නේ හෝ 9 වැන්නේ බලයෙන් යුක්තව හිඳිමින් සුබ ග්‍රහයන්ට පෙනේ නම් රාහුගේ දශාවේදී හෝ අතුරු දශාවේදී හදිසි ධන ලාභ මෙන්ම ඉඩකඩම්ද ලබා දෙනු ඇත. මේ අවස්ථාව වන විට වෙනත් අපල තත්ත්වයන් නොතිබීම මෙහිදී වැදගත් වෙයි. ලග්නය හෝ චන්ද්‍රයා වර්ගෝත්තමව පිහිටා තවත් ග්‍රහයන් හතර දෙනකුටවත් පෙනේ නම් ප්‍රබල ධනවතකු වීමේ වාසනාව තිබේ. උදාහරණයක් වශයෙන් මේෂ ලග්නයෙන් හා මේෂ නවාංශකයෙන් ඉපදී ඒ දෙකෙහිම චන්ද්‍රයා එකම රාශියක පිහිටා තිබිය යුතුය.


බ්‍රහස්පති සිංහ ලග්නයේ හැර වෙනත් ලග්නයක පිහිටීම නිසා අනෙක් ග්‍රහයන්ගෙන් යෙදෙන සියලුම අරිෂ්ට දෝෂ භංග කරන බව කියැවෙයි. එසේ පිහිටා සෙනසුරු 12 වැන්නේත් අනෙක් ග්‍රහයන් හත්දෙනාම 10 වැන්නේත් පිහිටා ඇත්නම් සියලු සැප සම්පත් ලැබීමේ වාසනාව ඇත. ඒ තමන්ගේම මහන්සියෙන් හෝ උරුම හිමිකම් ලැබීමෙනි. සමහර විට ඉතා ධනවත් පවුලක උපත ලබන්නකු විය හැකිය. මේෂ, කටක, තුලා හෝ මකර යන රාශියක් ලග්නයව ඉපදී ග්‍රහයන් නවදෙනාම එම රාශි හතරේ පිහිටා ඇත්නම් ධනය මෙන්ම බලයද ලැබේ.


කුජ පාප ග්‍රහයකු හා අයහපත් පල දෙන බව සඳහන් නමුත් බලවත්ව 10 වැන්නේ සිටි අය නිසි වයසේදී කුජ මහ දශාව ලැබුවහොත් ධනය, ඉඩකඩම් මෙන්ම බලයද ලැබේ. එහි නරක පැත්ත වන්නේ රාහු අයහපත් ආකාරයෙන් යෙදී සිටියහොත් දශාව ලැබූ විට ඒ සියල්ල නැති කොට යාචකයකු බවට පත් කිරීමයි. රජෙකු නම් එම මහ දශාවේදී තවත් රාජ්‍යයන් යටත් කරගන්නා බවද ජේ‍යාතිෂයෙහි සඳහන්ය.


ශනිද එවැනිම පාප ග්‍රහයෙකි. ඒරාෂ්ටක අපලය ගේන්නේත්, රජවරුන් හිඟන්නන් කරන්නේත්, සුව නොවන දුක් විඳින කල් පවතින රෝග පීඩා සාදන්නේත් මොහු බව බොහෝ දෙනෙක් දනිති. එහෙත් ධනු ලග්නකාරයාට නම් වාසනාව ගෙන එන්නටද මේ නරක යැයි කියන ග්‍රහයා සමත්ය. ධනු රාශි හිමියන්ගේ පස්වැන්න වන මේෂ රාශියේදී ශනි නීච වන හෙයින් එය ධන යෝගයක් බවට පත්වෙයි. ධනවත් විය හැකි බව පෙන්වන තවත් ග්‍රහ යෝග කිහිපයක් මෙසේය.
රවි, චන්ද්‍ර, කුජ, ගුරු එකම කොටුවේ සිටීම, රවි, ගුරු, සිකුරු හා ශනි එකම කොටුවේ පිහිටීම, කුජ, බුධ, ගුරු සහ සිකුරු එකම කොටුවේ සිටීම, රවි, චන්ද්‍ර, බුද, ගුරු හා සිකුරු එකම කොටුවේ පිහිටීම යන යෝග ඇතොත් ධනවත් විය හැකි බව ජේ‍යාතිෂයේ ඉගැන්වෙයි. තවත් ග්‍රහයෝග රාශියක් මෙන්ම ධනවත් විය හැක්කේ කුමන මාර්ගයකින්දැයි පවසන ග්‍රහ පිහිටීම්ද හඳහනේ දැකිය හැකිය.


මෙම ග්‍රහ පිහිටීම් තිබූ පමණින් ධනවත් වන්නේ නැත. මේ යෝග හා ග්‍රහයන් යහපත් ආකාරයෙන් පිහිටීම, ඒරාෂ්ටක හෝ දශා අපල තත්ත්ව නොපැවැතීම, නිසි වයසේදී එම ග්‍රහයකුගේ මහ දශාවක් ලැබීම යන තත්ත්වයන්ද බලපායි.
හඳහනක් තුළින් දැක ගත හැක්කේ හදිසි ධන ලාභ ලැබේද? ඒ කුමන කාලයේද? යන්න පමණක් නොවේ. ධනවත් විය හැකිද? ධනවත් පවුලක උපත ලැබුවාද, ධනවත් විය හැක්කේ කුමන මාර්ගයෙන්ද? ආදී කරුණු පමණක් නොවේ. යාචක යෝග කාලකණ්ණි යෝග ආදියද ජේ‍යාතිෂයෙහි දක්වා ඇත. මා ලිපියේ මුලින්ම සඳහන් කළ පුද්ගලයා කාලකණ්ණි යෝගයෙන් ඉපදුණා වන්නට පුළුවන. මෙවැනි තොරතුරු ලබාදෙන්නට ජේ‍යාතිෂ මූලධර්ම හා පැරැණි පොත්පත්හි සඳහන් කරුණු දැනසිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. මහා පරිචයක්ද තිබිය යුතුය.


වාසනාව තිබේ නම් ලොතරැයි පොත් මිටි ගණන් අවශ්‍ය නැත. එකක් වුවත් සෑහේ. එවැනි වාසනාව ලත් පුද්ගලයන් මෙන්ම දිනකට රුපියල් සිය ගණන් වැය කරන නමුත් කිසි දිනක වාසනාව නොලත් පුද්ගලයන්ද මම දැක ඇත්තෙමි.
"තණ්හාය විප්පමුත්තස්ස-නත්ථි ශෝකෝ කුතෝ භයං" යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.
Previous
Next Post »