බුධ ඔබට බලපාන හැටි



ග්‍රහ මණ්‌ඩලයේ කුඩාම ග්‍රහයා ලෙස සැලකෙන බුධ ග්‍රහයා ජෝතිෂ ශාස්‌ත්‍රයේදී ඥානයට අධිපති ග්‍රහයා ලෙස හඳුන්වයි. රවි සඳු දෙදෙනා මව පියා ලෙස සලකන අතර බුධ ඔවුන්ගේ හුරුබුහුටි පොඩි දරුවකු වන්නේය. බුධට එක රාශියක ගමන් කිරීමට මසකට අඩු කාලයක්‌ ගතවෙයි. රාශියේ කෙළවරට ගොස්‌ වක්‍ර වූ විට එම රාශියේ එහාට මෙහාට ගමන් කිරීමට මාස දෙකකට දින කීපයක්‌ අඩු හෝ වැඩි විය හැකිය. වර්ෂයකට තෙරවක්‌ හෝ සිව් වරක්‌ වක්‍ර විය හැකිය.

මිථුන රාශිය බුධට අයත් රාශියකි. කන්‍යා රාශියද බුධගේ රාශියකි. මිථුනයට බුධ ස්‌වක්‍ෂේත්‍ර වන අතර කන්‍යාවට උච්ච බලයත් ස්‌වක්‍ෂේත්‍ර බලයත් දෙකම පවතී. බුධ කටක සිංහ රාශි, 02 සතුරු වන අතර මීනයට නීච වෙයි. වෘෂභ, තුලා, මකර, කුම්භ යන රාශි හතරට මිත්‍රවෙයි. මේෂ, වෘශ්චික, ධනු රාශි තුනට සම වෙයි.

ඉගනීම් කටයුතුවලට පොත්පත් කියවීම ලිවීම, ග්‍රන්ථකරණය, කථාවට, සංගීත කලා කටයුතුවලට ගණිත මිනිත කාර්යයන්ට බුධගේ බලය ක්‍රියාත්මක වෙයි. බුධ රවි ග්‍රහයට කිට්‌ටුව ගමන් කරන නිසා හැම කාර්යයක්‌ම බුද්ධිමත්ව කරගෙන යැමට හැකිවේ. එහෙත් රවිගෙන් දුරස්‌ වී කුජ - සිකුරු සමග සංයෝග වූ විට බුධගෙන් යහපත් ප්‍රතිඵල අපේක්‍ෂා කළ නොහැකිය. ජන්මියා නොමගට යවයි.

බුධ ග්‍රහයා මිථුන රාශියේ සිටීමෙන් ලෞකික සැප සම්පත් ලබාදෙයි. ශාස්‌ත්‍රීය අංශයෙන් උසස්‌ තැනක්‌ ජන්මියාට හිමිවෙයි. පොත් පත් ලිපි ලේඛන කලාත්මක කටයුතු, චිත්‍ර කර්මය, ආදී දේවලට දක්‍ෂතා දක්‌වයි. කථාවෙන් ප්‍රයෝජන ගනී. දක්‍ෂ කථිකයෙකු වන්නේය. තමාගේ බලවත් උත්සාහයෙන්ම දියුණුව සලසා ගනී. ඉඩ කඩම් දේපළ ලැබීමේ භාග්‍ය ඇත. බුධ සමග රවි මිථුන රාශිගතව සිටීමෙන් ගෞරවයට හා කීර්තියට පත්වෙයි.

මිථුන රාශියට වඩා බුධ කන්‍යා රාශියේදී වැඩි තැන්පත් ගතියකින් යුතුව කටයුතු කරයි. අහංකාර ආඩම්බර ගතියක්‌ නොපෙන්වයි. ආගම දහමට ඉතාමත් ලැදිවේ. රටේ නොවේ උගත් අයකු ලෙස පිළිගැනීමක්‌ ඇති කරගනී. එහෙත් බුධ සමග සිකුරු සංයෝග වී නම් අභ්‍යන්තර හැඟම් වෙනස්‌ ස්‌වභාවයක්‌ ගනී. බුධ රවි සමග කන්‍යා රාශියේ සිටීමෙන් අන් අයට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වේ.

ඔබේ කේන්ද්‍ර සටහන අනුව බුධ ලග්න ගතව සිටී නම් ශරීරයේ සිහින් විය හැකිය. තරමක්‌ උසයි නිතර සතුටින් කාලය ගත කරන අතර විහිළු කිරීමට කැමැතියි. භාෂාවන් කෙරෙහි නිපුණතා දක්‌වයි. සිංහ ලග්නයේ මේ ගති අඩුවේ. රවි සමග බුධ ලග්න ගතව සිටීම වඩාත් බලවත්ය.

බුධ ග්‍රහයා 02 වැන්නේ (ධන ස්‌ථානයේ) සිටීම ඉතා යහපත්ය. බුධ ග්‍රහයා වෘෂභ රාශියේ නම් හැම දෙයක්‌ ගැනම ඉතා හොඳින් සිතා මතා කටයුතු කරයි. පොත්පත් ශාස්‌ත්‍රීය කටයුතුවලට සිත් දෙයි. කලබල ගතියෙන් තොරව ක්‍රමානුකූලව කටයුතු කරගනී.

බුධ ග්‍රහයා කටක රාශියේ (04 වැන්නේ) සිටීමෙන් නිතරම තම වාසිය ගැනම සිතයි. වැඩකට නැති ගමන් බිමන්වල යෙදෙයි. කපටි නුවණක්‌ පිහිටයි. ශුර මායම් දනී. ස්‌ථාන මාරුවීම් රැකියාවේ කරදර ඇතිවේ. සහෝදරාදීන් සමග සහයෝගයෙන් කටයුතු කරයි. බුධ කටකයට සතුරු නිසා ක්‍රියාශූර බව අඩුවේ.

බුධ 05 වැන්නේදී (සිංහ) ඥානය දියුණුවන කටයුතුවල යෙදෙයි. ශාස්‌ත්‍රීය අවබෝධය ලබයි. ආලය මත විවාහය සිදු කරගනී. ත්‍යාගවන්තයි. ගෘහ ජීවිතය වාසනා වන්තයි. අනියම් සබඳතා ඇති කරගනී. ක්‍රීඩාවලට කැමැතියි.

කන්‍යා රාශිය ගැන (06) මීට ඉහත සඳහන් කර ඇත. එහෙත් ගෝචර ගමනින් වැඩ 06 ගමන් කරන විට රෝග පීඩා ඇතිවේ. නෑයින් හා මිත්‍රයන් සමග අමනාපකම් ඇති කර ගනී. හමේ රෝග සැදිය හැකිය.

බුධ තුලා රාශිගතව සිටීමෙන් කල්පනා ශක්‌තිය ඉතා හොඳයි. කිසිවකු තරහ කර නොගෙන කටයුතු කරයි.අපක්‍ෂපාතී වේ. හැම වැඩක්‌ ගැනම හොඳට සිතා මතා කටයුතු කරයි. සමාජයෙන් ගෞවරය ලබයි. ගෝචර ගමනේදී බුධ 07 සිටීමෙන් විවාහය ඉක්‌මන් වේ. ලිවීමට කියවීමට ග්‍රන්ථකරණයට දක්‍ෂයි. විවාහකයන්ට විවාහ ජීවිතයේ ගැටලු ඇති කරයි.

බුධ වෘශ්චික රාශියේ සිටි විට උත්සාහ වන්ත ගතිය වැඩී. අන් අය තමාගේ අදහස්‌වලට නම්මා ගනී. ගුප්ත ශාස්‌ත්‍රීය වෛද්‍ය කටයුතුවලට යහපත්ය. අදහස්‌ සඟවා ගෙන කටයුතු කරයි. ගෝචර ගමනේදී බුධ 08 වැන්නේදී ශරීරය ලස්‌සන වේ. රෝග ඇති කරයි. හදිසි අනතුරු හෝ මරණය හෝ සිදුවිය හැකිය.

ධනු රාශියේදී ඥාන ශක්‌තිය හා ධාරණ ශක්‌තිය හොඳින් පවතී. ආගම දහමට විශේෂ ලැදියාවක්‌ දක්‌වයි. යමක්‌ කිරීමට පෙර හොඳින් සිතා බලයි. සහකරුට සහකාරියට ආදරය කරයි. රැකියාවෙන් උසස්‌වීම ලබයි. ගෝචර ගමනේදී (09) පියාට ඉතා හිතවත්ව කටයුතු කරයි. උසස්‌ අධ්‍යාපනයට යොමුවේ.

මකර රාශියේ බුධ සිටීමෙන් කාර්ය කරයි. කාර්මික කටයුතුවලට ඉතා යහපත් පිහිටීමකි. ප්‍රවේශම් සහිතව වැඩවල යෙදෙයි. උසස්‌ අයගෙන් ආධාර උපකාර ලබයි. උත්සාහ වන්තව වැඩ කටයුතුවල යෙදෙයි. 10 වැන්නේ බුධ ගමන් කරන විට කථාවට දක්‍ෂයි. .... පැසසුම් ලබයි. ශරීරය නිරෝගී වේ.

කුම්භ රාශියේදී ලග්න ගත වීමෙන් කඩිසර බවින් තොරවේ. බලාපොරොත්තු කෙසේ හෝ සාර්ථක කර ගනී. ඉගනීමට දක්‍ෂතා දක්‌වයි. විවාහයෙ ප්‍රේම සබඳතාවයක්‌ මත කරගනී. දරුවන් කීකරු නැත. 11 වැන්නේ බුධ ගමන් කිරීමෙන් ව්‍යාපාර කටයුතුවලට ඉතා ශුභයි. උසස්‌ මිත්‍රයන්ගෙන් උදව් ලැබෙයි.

බුධ මීන රාශි ගතවූ විට දියුණුවට බාධක පැමිණේ. එහෙත් උත්සාහ වන්තයි. විවාහය ප්‍රමාද විය හැකිය. නෑයන්ගෙන් උදව් උපකාර ලබයි. විදේශ ගමන් බිමන් යෙදිය හැකිය. ගෝචර ගමනින් බුධ 12 වැන්නේ සිටින විට දුර බැහැර ගමන් බිමන් ඇති කරයි. සිතට කරදර වැඩි මානසික පීඩා ගෙනදෙයි.

බුධ අශුභව පිහිටි විට මානසික කරදර සිහිමද ගතිය, ගොළුවීම, ගොත ගසා කථා කිරීම, කථා කිරීමේ අපහසුතාවය, කන් ඇසීමේ දුර්වලතා ඇති කරයි.
Previous
Next Post »