විවාහය සාර්ථක කරගන්න මෙය කියවන්න



"විවාහය, පුද්ගලයකුගේ දෙවැනි උපත" ලෙස හඳුන්වයි. එසේ වන්නේ එහි බලපෑම පුද්ගලයකුගේ ජීවිතයට සිදුකරන පරිවර්තනය නිසයි. විවාහ වීම සඳහා ගැළපෙන මනාලියක හෝ මනාලයෙකු සොයා ගැනීම කොතරම් අපහසු කටයුත්තක්‌දැයි විවාහ වන වයසේ පසුවන දියණියක හෝ පුතෙකු සිටින මාපියන් හොඳින්ම දනී. විවාහය සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේදී සිදුවන ඇතැම් දුර්වලතා නිසා මිල මුදල්, දේපළ පමණක්‌ නොව තම ජීවිතයද නැති නාස්‌ති කරගත් කාන්තාවන් ගැන ලද බොහොමයක්‌ පුවත් අසන්නට ලැබේ.

විවාහ වෙන්න යන අය බොහෝ දෙනෙක්‌ පවසන්නේ ඔවුන්ට හොඳ පෙනුමක්‌ ඇති සහකරුවෙකු හෝ සහකාරියක අවශ්‍ය බවයි. මින් පෙනී යන්නේ අද තරුණ පරපුර බොහෝ විට රූපයට මුල්තැන දෙන බවයි. ඊට අමතරව ඔවුන් මුල් තැන දෙන්නේ මුදල්වලට. මේ පදනම එකම සුදුසුකම කරගනිමින් විවාහයට එළඹීම නම් බුද්ධිමත් පියවරක්‌ නොවේ. බොහෝ පවුල් අවුල් වෙන්නේ මේ වැරදි තෝරා ගැනීම නිසයි. ඇත්තෙන්ම විවාහයට පුද්ගලයෙකු තෝරාගැනීමේදී මූලිකව සොයා බැලිය යුත්තේ ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ හා අදහස්‌වල ගැළපීම පිළිබඳවයි. දෙවනුව පවුල් පසුබිම පිළිබඳ සොයා බැලිය යුතුයි.

යම් පුද්ගලයෙක්‌ තම නිවසේ අය සමඟින් ගත කරනුයේ ජීවිතයෙන් තුනෙන් එකක පමණ කාලයක්‌. එහෙත් තම සහකරු හෝ සහකාරිය සමඟ ජීවිත කාලයෙන් තුනෙන් දෙකක පමණ වැඩි කාලයක්‌ ගත කරන්නට සිදුවෙනවා. එම නිසා මේ සඳහා සුදුසුකම බවට පත්වන්නේ අදහස්‌ ගැළපීමයි. ලස්‌සන හෝ මිල මුදල් එසේත් නැත්නම් සමාජ තත්ත්වය ගැන නොසිතා අදහස්‌වලට මුල්තැන දීමෙන් ඉතා සාර්ථක පවුල් ජීවිතයකට අඩිතාලම සකස්‌කර ගත හැකියි.

අද තාක්‍ෂණික දියුණුවත් සමඟ ම තරුණ තරුණියන් අතරේ නොයෙකුත් ආකාරයේ පෙම් සබඳතා පවතිනවා. බොහෝ තරුණයන් මෙන්ම ඇතැම් තරුණියන්ද පෙම් සබඳතා කීපයක්‌ම පවත්වාගෙන යනවා. එහෙත් මේවා බොහොමයක්‌ විවාහයෙන්ම අවසන් වන්නේ නෑ. ඒ නිසාම යෝජිත විවාහය සඳහා ඇති ඉල්ලුම වැඩිවෙනවා. ෙfaස්‌බුක්‌ මගින් ඇතැම් බාලවයස්‌කාර දැරියන් පවා අනවශ්‍ය පෙම් සබඳතාවලට පෙලඹෙනවා. අවසානයේදී ඔවුන් කාමාතුරයන්ගේ ගොදුරු බවට පත්වූ අවස්‌ථාවන් කොතෙකුත් දකින්නට තිබෙනවා. මේ නිසා තාක්‍ෂණය හරහා සහකරුවන් සෙවීම නම් ඉතා පරෙස්‌සමටම සිදුකළ යුතුයි.

තමාගේ ආර්ථික මට්‌ටම සකසා ගැනීම, උසස්‌ අධ්‍යාපනය හදාරා අවසන් කිරීම ආදී හේතු නිසා විවාහය කල් දමන ප්‍රවණතාවක්‌ මේ වන විට පවතිනවා. ඔවුන් විවාහයක්‌ ගැන සිතීමට පෙලඹෙන්නේ වයස තිහ පසුවූ විටයි. එහෙත් තරුණියක්‌ වයස අවුරුදු 24-35 වන විට විවාහ වීම වඩාත් සුදුසු යෑයි මා හිතනවා. තරුණයෙකු හට නම් වයස අවුරුදු 26-27 පමණ ඉක්‌මවූවාට වරදක්‌ නැහැ.

පළමු විවාහය අසාර්ථක වී දෙවැනි විවාහයක්‌ සඳහා සහකරුවන් සහකාරියන් සොයන අයත් මේ වන විට වැඩිවෙමින් පවතිනවා. ඔවුන් පවසන්නේ විවාහය සඳහා තමාට ලැබුණේ සුදුසු පුද්ගලයා නොවන බවයි. එහෙත් විවාහ වීමට පෙර තමා සොයන්නේ ජීවිත කාලයටම එක්‌ව සිටීමට පුද්ගලයෙකු බව සිතනවා නම් දෙවැනි විවාහයක්‌ අවශ්‍ය නොවිය හැකියි. මේ ආකාරයට බොහෝ දෙනෙකුගේ පළමු විවාහය අසාර්ථක වීමට හේතු කාරණා බවට පත්වී ඇත්තේ රූපය හා මුදල් වලට තැනක්‌ දීම බව පැහැදිලිව පෙනෙනවා.

එලෙසින්ම එකිනෙකාට ගරු කිරීමත් විවාහයක්‌ සාර්ථක ලෙස පවත්වා ගැනීමට සෘජුවම බලපාන කරුණක්‌. උදාහරණයක්‌ ලෙසින් ගත්කල බිරිඳ සැමියාට වඩා උගත්කමෙන්, රැකියාවේ තනතුරු වලින් සහ සමාජ තත්ත්වයෙන් උසස්‌ වූ කළ බිරිඳ විසින් සැමියාව පහත්කොට සැලකීම බොහෝවිට දක්‌නට ලැබෙනවා. මෙම තත්ත්වය මත බිරිඳ සහ සැමියා එකට සහභාගිවන උත්සව, සාදයන්වලදීද බිරිඳට ලැබෙන ගෞරව සැලකිලි වැඩිවීම තුළිනුත් සැමියාට තමන් පිළිබඳ හීනමානයක්‌ ඇතිවීමට ඉඩ තිබෙනවා. නමුත් දෙදෙනා විසින් එකිනෙකාට ගරු කිරීමෙන් හා රැකියාවේ ස්‌වභාවය හෝ තනතුරේ උස්‌පහත් බව තම පවුල් ජීවිතයට බාධාවක්‌ කර නොගෙන, එකිනෙකාගේ හැකියාවන් පැසසුමට ලක්‌කිරීම හා අගය කිරීම තුළින් අනවශ්‍ය සිත් රිදීම්, ඊර්ෂ්‍යාව වැනි හැඟීම් පසෙකලා තම පවුල් ජීවිතයේ වටිනාකම අන් සියල්ලටම වඩා අවබෝධකර ගැනීමට හැකියාව ලැබෙනවා.
Previous
Next Post »