දෙක සහ හත අධිපතින්ගේ දශා, මහ දශා, අතුරු දශා වශයෙන් ලැබුව විට ජන්මියාට මාරකයෑයි ජ්‍යෝතිෂ සිද්ධාන්ත වල සඳහන් වේ. එයට හේතුව මාරක ස්‌ථානය වූ 8 වැන්නෙන් 12 වැන්න 7 වැන්න වීම හා අටෙන් අට වැන්න වූ තුන්වැන්නෙන් දොළොස්‌වැන්න 2 වැන්න වූ නිසාය. එම සිද්ධාන්තය බොහෝ දුරට සත්‍ය බැව් සනාථ වී තිබේ. එවැනි දශා කාලයකදී මාරකයක් ළඟා කිරීමට තවත් උපකාර වන්නා වූ අවස්‌ථා ද වේ. තම කේන්ද්‍රයේ 2 සහ 7 අධිපතින්ගේ දශා අතුරු දශා කාලය තුළදී හෝ එම ස්‌ථාන දෙකේ සිටි ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලය තුළදී ජන්ම ඒරාෂ්ඨකයක්‌ද යෙදී තිබුණොත් මාරකය වඩාත් වේගවත්වේ. එයට හොඳම නිදසුනක් දක්‌වතොත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ කේන්ද්‍රයයි. මේෂ ලග්නයෙන් උපත ලද එතුමාට සිකුරු මහ දශාව ගෙවෙද්දී සෙනසුරු ග්‍රහයා සඳු සිටි රාශිය වූ 11 වැන්න හරහා ගමන් කළේය. මේෂ ලග්නයට සිකුරු දෙවැන්නාධිපති මෙන්ම 7 අධිපතියාද වේ.
සෙනසුරු එසේ ගමන් කළේ 11 වැන්න හරහාය. සඳුද 11 වැන්නේම විය. මේෂ ලග්නයට 11 වැන්න බාධක රාශියද වේ. එවිට අපල දෙක තුනක්‌ම එතුමාගේ මරණයට හේතු විය. එකක් නම් දෙක සහ 7 අධිපතින්ගේ දශාව ලබා තිබීමයි. දෙවැන්න ඒ වන විට ජන්ම ඒරාෂ්ඨකය ලබා තිබීමයි.
තවදුරටත් 11 වැන්න බාධක රාශියක් වීමයි. ඒ වූ කලී මාරක අවස්‌ථාවක් වුවත් බුද්ධිමත් වූයේ නම් හෝ උපදෙස්‌වලට අවනත වූයේ නම් එම මාරකය මග හරින්නට පුළුවන්කමක් තිබිණි. එම උපදෙස් ප්‍රතික්‍ෂේප කළේත් චිත්ත කාරක සඳු සෙනසුරුගෙන් අතිශයින්ම පීඩා ලබා තිබුණ බැවිනි.
සඳු සිටි රාශිය හරහා සෙනසුරු ගෝචර වීම, ජන්ම ඒරාෂ්ටකයකි. කෙනෙකු අවුරුදු 60 කට වඩා ආයු වළඳතොත් මේ ජන්ම ඒරාෂ්ඨකය ඔහුගේ ජීවිත කාලය තුළදී තුන්වරක් ලබයි. හතර වරක් ලබතොත් ඒ පූර්ණ යුෂ ලබතොත් පමණි.
පහත පළවන්නේ 2010 ජුලි මස 22 වැනිදා උදේ 8.54 ට උපන් දරුවකුගේ කේන්ද්‍රයයි.
සිංහ ලග්නයෙන් සිංහ නවාංශකයෙන් උපන් මේ දරුවා උපදින විට බුධට අයත් දෙට නැකතේ 2 වැනි පාදයේ වූ නිසා බුද මහ දශාව ඉදිරියට වර්ෂ 11 මාස 09 දින 18 ක් විය.
මේ කේන්ද්‍රයේ සිකුරු ලග්නයේය. ශනි/කුජ දෙවැන්නේය. සඳු හතර වැන්නේය. රාහු පස්‌වැන්නේය. ගුරු 8 වැන්නේය. කේතු 11 වැන්නේය. රවි/බුද දොළොස්‌වැන්නේය.
මේ කේන්ද්‍රයේ සඳු නීචව සිටියේය. එම නීච සඳු සිටි රාශිය හරහා සෙනසුරු ගමන් කළේය. නීච සඳු 22 වන දෙර්කාණය අධිපතියා ද විය. ඒ අනුව ඉහත සඳහන් කළ සිද්ධාන්තය අනුව එය මාරක දශාවක් ගෙවෙන අවස්‌ථාවකි. මේ දරුවා 2014 නොවැම්බර් මාසයේ 18 වැනිදා මිය ගියේය. මරණයට හේතුව දැක්‌විය නොහැකි බව මරණ සහතිකයේ සඳහන්ව ඇත.
දරුවාගේ මාපියන්ට දරුවන් සිටියේ නැත. ඒ නිසා රුපියල් ලක්‍ෂ ගණනක වියදමක් දරා නළ දරු උපත් ක්‍රමයෙන් මේ ළමයා ලබාගෙන ඇත.
දරුවාගේ මරණය නිසා ඒ මාපියන්ට දරු සම්පත අහිමි විය. මවට මේ වන විට වයස අවුරුදු 43 ක් පමණ වේ. දරුවියෝව උසුලා ගනු නොහැකි හෙයින් තවත් නළ දරු උපතක් ලබා ගත හැකිදැයි මාපියෝ උනන්දු සහගතව පසු වෙති.
ස්‌වභාවික දරු උපතක් තරම් නළ දරු උපත ශක්‌තිමත් නැති බවට තවත් නිදසුන් බොහෝය.
කුජ 7 සිටීම විවාහයටත් පහේ (05) සිටීම පළමු පිරිමි දරුවාටත් 10 සිටීම පියාටත් විපත් බවද ජ්‍යෝතිෂයේ සඳහන්ය. ඒ දෝෂය බිඳෙතොත් බලවත් දෘෂ්ටිය කුජට ලැබෙතොත් පමණි. අකල් මරණයට තවත් හේතු රැසකි. එයින් කීපයක් දක්‌වතොත් මෙසේය.
1. රවි - කුජ දෙදෙන පාප දෘෂ්ටි සහිතව 7 වැන්නේ සිටීම හෘදයාබාධවලට හේතුවකි.
2. පාපින්ට මැදි වූ සිකුරු 8 වැන්නේ නම් බිරිඳ සිය දිවි නසා ගැනීමට පෙළෙඹෙයි.
3. පියා සහ දරුවා එකම ලග්නයේ එකම නැකතක වීමත් අනතුරුදායකය.
4 දශාධිපති සිටි රාශිය හරහා රාහු ගෝචර වීමත් මාරකයකි. ශනිගේ ගෝචරයද එසේය.
5 ජන්ම කේන්ද්‍රයේ ලග්නයත් ලග්නාධිපතිත් සඳුත් දුබල නම් ආයු බලය ගැන දුබලකමකට ඉඟිකරයි.
6. ජන්ම කේන්ද්‍රයේ සඳු ගෙන් 1, 4, 7, 10 පාප ග්‍රහයන් වෙතොත් එයද ආයු බලය කෙටිකර පෙන්වීමකි.
7. ගණ්‌ඩාන්ත කාලය තුළ උපදින දරුවාත් ආයු බලයෙන් ශක්‌තිමත් නැත. (ගන්ඩාන්තය යන සන්ධිස්‌ථානයකි. නැකැත් ජෝඩු තුනක් අතර සිදුවන සන්ධියයි. ඒ ස්‌ථාන තුන මෙසේය. (1) මා - අස්‌ලිස (2) රේවතී - අස්‌විද (3) මුල - දෙට.)
දෙට- මුල නැකැත් අතර ඝටිකාව අභුක්‌ත නම් වේ. එම ඝටිකාව තුළ උපත මුළු පවුලටම අහිතකරය. දෙට නැකතේ අග ඝටිකා එකක්‌ද මුල නැකතේ මූල ඝටිකා දෙකක්‌ද අතර උපන් දරුවාගේ උපත අභුක්‌ත මූල කාලයට අයත්ය. එම කාලය තුළ උපන් දරුවාට වයස අවුරුදු තුනක් වනතුරු කේන්ද්‍රය නොබැලිය යුතු බව ශ්‍රීපති කියයි. එසේ උපන් අය සඳහා ශාන්ති කර්ම කළ යුතු වේ.
ශ්‍රීපති එම ගණ්‌ඩාන්ත උපත මෙසේ විස්‌තර කරයි. දෙට නැකතේ චන්ද්‍රයාගේ ගමන ඝටිකා 10 කට බෙදන්න. ඉන් පළමු දහයෙන් පංගුව තුළදී උපන් දරුවාගේ මවගේ මව මිය යයි. දෙවන දහයෙන් පංගුව තුළදී තම මවගේ මවට හෝ පියාගේ පියාට විපත ගෙනෙයි. සිව්වන දහයෙන් පංගුව තුළදී උපත ලදොත් මවට විපත්ය. පස්‌වන දහයෙන් පංගුව තුළදී දරුවාට විපත්ය. හයවන දහයෙන් පංගුව තුළදී වස්‌තු විනාශ වෙයි. හත්වන දහයෙන් පංගුව තුළදී නම් පවුලටම විපත්ය. 8 වන පංගුව තුළදී තම වර්ගයාටම විපත්වේ. දහවැනි පංගුව තුළදී සියල්ලටම විපත්ය.
ගර්ග ඉසිවරයාගේ ඉගැන්වීම අනුව මාපියන් විසින් හෝ දරුවා විසින් පෙර සසර ගමනේදී කරන ලද අකුසල් නිසා මරණය සිදුවේ. ඒ නිසා දරුවා වයස අවුරුදු 4 දී මිය යයි නම් ඒ මව විසින් කරන ලද අකුසලයක් නිසාය. ඊළඟ සිවු වසර තුළදී මරණය පියා විසින් කරන ලද අකුසලයක් නිසාය. ඊළඟ වසර හතර තුළදී මියතොත් ඒ දරුවා විසින් කරන ලද අකුසලයක් නිසාය.
චන්ද්‍රයාට රාශි වලල්ල වටා යැමට දින 27.5 ක් ගතවේ. ඒ අනුව වසරකට 13 න් වරක් රවුමේ යයි. පළමු රවුමේදී සඳු සිට රාශියටත් දෙවන රවුමේදී ලග්නයටත් තෙවන රවුමේදී අරිෂ්ඨ යෝග කාරක බලවතාගේ රාශියටත් පැමිණේ. මෙසේ 39 වතාවක් රාශි තුන සපුරන විට මරණය වෙතැයි ආචාර්යවරු කියති. ඒ සඳහා චන්ද්‍රයා දුබලවිය යුතුය. 6 යේ හෝ 8 පාලකයා විය යුතුය. උපතේදී අයත්වන දෙර්කාණය නිගා, අභි, විහඟ හෝ පාශධර එකක් වී එහි පාපියකු සිsටියේ නම් ආයු බලය වර්ෂ 7 කි. (නිගා යනු විලංගු සහ අරුත දෙයි. අභි යනු නැග යන අරුත දෙයි. විහඟ යනු කුරුල්ලාය) කටක, වෘශ්චික හා මීන යන ලග්නවල මැද අග හා මුල හෙවත් දෙවන තුන්වන හා පළමුවන දෙර්කාණ සර්ප දෙර්කාණ වේ. වෘශ්චිකයේ දෙවන දෙර්කාණය නිගාධ වේ. මකරයේ පළමු දෙර්කාණය විහඟ දෙර්කාණවේ.
කෙනෙකුගේ මරණය වන අවස්‌ථාවේදී ගුරු ලග්නයේ සිටියේ නම් උපත දෙවියන් අතරය. රවි හෝ කුජ ලග්නයේ නම් උපත මිනිස් ලොවය. සඳු හෝ සිකුරු සිටියේ නම් උපත පීතෘ ලොවේය. බුද හෝ ශනි සිටියේ නම් උපත අයහපත් තැනකය.
මරණය සිදුවන විට ලග්නය මේෂ වෘෂභ, මිථුන, කටක වූයේ නම් උපත මිනිස් ලොවේය. සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික වූයේ නම් උපත නරක තැනකය. ධනු මකර, කුම්භ වූයේ නම් උපත දෙවියන් අතරය.
මරණින් මතු ලබන ආත්මය ගැන සිතන්නට තරම් වේලාවක් මිනිසුන්ට නැත. හිතීමට බොහෝ දේ ඇති බැවිනි. සැරයටිය අතට ගන්නා වයසේදීත්, මළ ගෙදරකට ගිය මොහොතේදීත් සමහර විට මරණය ගැන බියක් ඇතිවේ. ඒත් වේලුණු ගෙඩිය තිබියදී ඇට්‌ටි බිම වැටෙන අවස්‌ථාද වෙයි.
එහෙයින් මරණය ගැන නොව මරණින් එහා ලබන උපත ගැනත්, ඒ ගමනේ වියදමට සරිලන තරම් පිනක් එකතු කරගෙන ඇද්දැයි සිතීමට උනන්දු විය යුතුය.
සමාජයේ දක්‌නට ලැබෙන හැම මිනිහාම ඒකාකාරී නොවේ. අඳ, ගොළු, බිහිරි, උමතු ආදී වශයෙන්ද චරිත දක්‌නට ලැබේ. ඒ අතර සියලු වාසනා මහිම පෙන්වන අයද වෙති. පුනරුත්පත්තිය විශ්වාස කරන්නේ නම් ඉතා වැදගත් අයුරින් ජීවත් විය යුතු බව පසක් වේ.
භූත විද්‍යාවේදී ප්‍රේත, භෛරව ආදී ආත්මිකයන් ගැන සඳහන් වේ. එයින් හැඟෙන්නේ මරණින් පසු වැරදි කළ අයට සුගතියේ දොර වැසී අගතියට පිවිස සිටින බවය.
බහිරව ආත්මවල උපදින්නේ පින්කර ඇතත් සමාජ විරෝධීව ජීවත්වූ අය වේ. සමාජ විරෝධීව යනු අනුන්ට ගරහන, අපහාස කරන, නිර්නාමික ලියුම් යවා කෙනෙකුගේ සිත රිදවන වැදගතුනට අපහාස කරන අයයි.
පොතු කබර රෝගීන් ඔබ දැක ඇත. තොරතෝංචියක් නැතිව දදය කසමින් ජීවත්වන්නේ අනුන්ට අවමන් කළ අයයි. ජන්ම කේන්ද්‍රයේ පාපී ග්‍රහයකු නීච වීම, ලග්නාධිපති නීච වීම පෙර වැරදි කළවුන් හඳුන්වා දෙන ලක්‍ෂණ වේ.