යම් කෙනෙක් මෙලොව ජනිත වූ මොහොතේ ක්ෂතිජයේ පිහිටා තිබූ ග්‍රහ තාරකාවන්ට අනුව ඔහුගේ හෝ ඇයගේ ජන්ම පත්‍රය සැකසේ. ඒ අනුව එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ උපන් වේලාවට අනුව නැකත් හිමි වේ. එම අයගේ ඒ ඒ අයගේ ජීවිතයට විවිධාකාර ලෙස බලපාන බැව් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි.
අස්විද නැකත
මෙම නැකතින් උපත ලැබූ අයට ධන සම්පත ලැබීමේ වාසනා ගුණය ඇත. දුටුවන් පිනවන රූප ශෝභාවක් හිමිය. යහපත් කතා විලාශයක් ඇත. දේව භක්තියෙන් ජීවත්වන ඔවුන් කිසිවකුගේ සිත් රිදවීමට අකැමැතිය. වැඩිහිටියන්ට සලකන උසස් ගුණයෙන් යුතු ඉවසන සුලු ගති පැවතුම් ඇත.
බෙරණ නැකත
මෙම නැකතින් උපන් අය සැපවත් සුන්දර හා නිරෝගී සැහැල්ලු ආහාරපාන අනුභව කරන්නෝය. කාමුක හැඟීම් වැඩි වශයෙන් බලපාන අයයි. බොහෝ විට නුවණැත්තන් ලෙස ක්‍රියා කරයි. මෙම නැකතින් උපන් කාන්තාව දුෂ්ටය. චරිතය අපිරිසිදුය. නිතරම අන් අය සමඟ උරණ වන නපුරු ගති පැවතුම් ඇත.
කැති නැකත
කැති නැකතින් උපන් අය අධික මානයෙන් යුතු නොඉවසන සුලු අයයි. බුද්ධිමත්කමින් උසස් සමාජයේ ඉහළ තනතුරු හා ගරු නම්බුනාම ලැබීමට වාසනාව ඇත. ත්යාගශීලීය. මෙම නැකතින් උපත ලබන කාන්තාවට දුර්වල ශරීරයක් හිමිය. මෙවැනි කාන්තාවන්ට සමාජය හිතකර නොවේ. සැපින්නක් සේ නිතර කිපෙන සුලුය.
රෙහෙණ නැකත
රෙහෙණ නැකතින් උපත ලද අය නිර්මල හදවතකින් යුතු ක්‍රියාශීලී අයයි. පියකරු පෙනුමකින් කාගේත් ගෞරවය දිනා ගන්නෝ වෙති. මෙවන් අය දෙමාපියන්ට වඩාත්ම ආදරය කරයි. කාන්තාවන් තම ස්වාමිපුරුෂයාට ඉතා ආදරයෙන් හා භක්තියෙන් යුතුව සලකන්නීය. ආගමට වඩාත් ලැදිය.
මුව සිරස නැකත
මෙම නැකතින් උපන් අය චපල ගති ඇති, ධනවත්, උත්සාහවන්ත, බුද්ධිමත්, සාමකාමී අයයි. ජ්‍යොතිෂයට ඇලුම් කරයි. මෙම නැකතින් උපන් කාන්තාවගේ කතා විලාශය කාගෙත් දෙසවන් පිනවන සුලුය. ආත්ම ගෞරවය සිය ප්‍රාණය මෙන් ආරක්ෂා කරයි. අවංක බව අගය කරන ඔවුන් ස්වාමිපුරුෂයාට ඉමහත් භක්තියක් ඇත.
අද නැකත
අද නැකතින් උපන් අය තුළ කිපෙන සුලු ගතිය නිතර දක්නට ඇත. අති පණ්ඩිතයෙකු මෙන් කතා කිරීමට දක්ෂය. දේව භක්තියෙන් යුත් මොවුන් අධික ලෙස වියදම් කිරීමට මැලි නොවේ. සෙම්, පිත් වැනි රෝග පීඩාවන්ගෙන් පෙළීමට සිදු වේ. වැරදි ක්‍රියාවන් අවබෝධ කරගෙන නිසි පරිදි කටයුතු කිරීමට මොවුන් දක්ෂය.
පුනාවස නැකත
උගතුන්, බුද්ධිමතුන්, නැණවත් හා සමාජයේ ගරු නම්බුනාම ලබන අය මෙම නැකතින් උපත ලබයි. ඔවුන් තමන්ගේ ආත්ම ගෞරවය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන බැවින් හොර, බොරු, වංචා ආදිය පිළිකුල් කරති. ඒවා දැඩි ලෙස හෙළා දකිති. ආගමික හා සමාජ සේවා වැනි කටයුතුවලට ලැදිය.
පුෂ නැකත
මෙම නැකතින් උපන් අය මිහිරි වචන කතා කරයි. දීර්ඝායුෂ විඳීමේ වාසනාව ඇත. අන්‍යයන්ට සංග්‍රහ කිරීමට දක්ෂය. පියකරු රූ සපුවක් හිමි ඔවුන් ජ්‍යොතිෂ ශාස්ත්‍රයට ලැදිකමක් දක්වති. උපත් වර්ෂ 13, 16, 19, 27, 64 යන වර්ෂවල නම් තදබල අපල පෙන්වයි.
අස්ලිස නැකත
අස්ලිස නැකතින් උපත ලද අය පාප ක්‍රියාවන්ට ලැදිය. අහංකාරකම හා කුහකකම හැම විට හිතේ දරා සිටියි. මෙම නැකතින් උපන් කාන්තාව කාන්තිමත් නෙත් ඇත්තියකි. යහපත් ගුණධර්මවලින් පිරි ඇය අහිංසකය. වස්තු සම්භාරයකට හිමිකම් කියන්නීය.
මා නැකත
මෙම නැකතින් උපන් අයට බොහෝ වස්තු සම්පත් ලැබීමේ වාසනාව ඇත. හැම විටම ආත්ම ගෞරවය ආරක්ෂා වන අයුරින් ක්‍රියා කරයි. එකමුතුකම අගය කරයි. තමාට හතුරුකම් කළ අය සමගද සහයෝගයෙන් කටයුතු කරයි. සැප විඳීමට වාසනාව ඇත. උපත් වර්ෂ 5, 7, 10, 13 වර්ෂවල නම් රෝගාබාධවලට හේතු වේ.
පුවපල් නැකත
සෞභාග්‍යවත් ජීවිතයක් ගත කිරීමට මෙම නැකත හිමි අයට වාසනාව ඇත. ඉගෙනීමට ඉමහත් දක්ෂතාවක් දක්වයි. මෙම නැකතින් උපන් කාන්තාව යහපත් දරුවන් ලැබ විවාහ දිවිය සතුටින් ගත කරන්නීය. වාසනාවන්ත එමෙන්ම කෙළෙහි ගුණ දන්නෝ වෙති.
උත්‍රපල් නැකත
ප්‍රතිපත්ති රකින අය වෙති. ධන ධාන්‍යවලින් ද ඔවුනට අඩුවක් නොවේ. කාර්යශූරය. මෙම නැකතින් උපත ලද කාන්තාව සියලු සැප සම්පත් ළඟා කරන්නීය. තම ගෘහ ජීවිතය මනාසේ ආලෝකවත් කරගනී. නිරෝගී සිරුරක් හිමි ඇය ඥාතීන්ගේ ද සැලකිලි ලබන්නීය.
හත නැකත
මෙම නැකතින් උපන් අයට මහා ඥාන ශක්තියක් ඇත. සුව පහසු දිවියක් ගත කිරීමේ වාසනාව ඇත. විද්‍යා ශාස්ත්‍රයන් හි මනා දැනුමක් ඇත. කාන්තාවන්ගේ නම් අත් පා අවයවවල අමුතු කෝමල ගතියක් ඇත. ධාර්මික දිවියක් ගත කරන්නීය. නෙත්වල දීප්තිමත් ගතියක් දිස්වේ.
සිත නැකත
දුටුවන් ප්‍රියකරන රූප සම්පත්තියක් ඇත. හැම විටම සාධාරණත්වය අගය කරයි. ආත්මාර්ථයට වඩා පරාර්ථය අගය කරයි. මෙම නැකතින් උපන් කාන්තාව වටිනා කනකර ආභරණ පළඳින්නියකි. චරිතය එතරම් ශුභදායක නොවේ. පුරපස හා අවපස තුදුස්වක දිනවල උපත ලද නම් ශුභයි.
සා නැකත
සත්‍ය කතා කරන සතුරන්ගෙන් ජය ලබන අයෙක් වෙයි. බොහෝ අය ඇසුරු කරන නිසා කා අතරත් සැලකිලි ලබයි. මෙම නැකතින් උපන් කාන්තාව බොහෝ වස්තු සම්භාරයකට උරුමකම් කියන්නීය. ආත්ම ගෞරවය ප්‍රාණය මෙන් ආරක්ෂා කරන්නීය.
විසා නැකත
මෙම නැකතින් උපන් අය බොහෝ ධාර්මිකය. සමාජ සේවය හා සුබ සාධක වැඩවලට ඇපකැප වී ක්‍රියා කරයි. කාන්තාවක් නම් මනා රූ සපුවකින් යුත් කෝමල ගති පැවතුම් ඇත. විනයානුකූල චරිතය මැයට ආභරණයක් බඳුය.
අනුර නැකත
මෙම නැකතින් උපන් අය ඉතාමත් නිහතමානී කාගේත් පැසසුම් ලබන අය වේ. තැන්පත් ගතිගුණවලින් යුක්තය. කාර්යශූර ගතියක් පෙන්නුම් කරයි. කාන්තාවක් නම් ධන සම්පත් හිමි ඉතා වාසනාවන්ත දිවියක් ගත කරන්නීය.
මුල නැකත
මෙම නැකතින් උපත ලද අය හුදෙකලාව සිටීමට කැමතිය. ඉගෙනීමට දක්ෂතාවක් ඇතත් ඉන් ප්‍රයෝජන ගැනීමට වාසනාවන්ත නොවේ. කඩිසරකම හා ක්‍රියාකාරිත්වය අඩුය. හැම විටම උදාසීනව කටයුතු කරයි.
පුවසල නැකත
බලවත් අධිෂ්ඨාන ශක්තියකින් යුතු යහපත් කටයුතු කෙරෙහි යොමුවන සත්‍ය වචන නිතර කතාකරන අය වේ. පළල් ඇස්වලින් හා මනා ශරීරයකින් යුක්තය. තරමක අහංකාර ගතියක් ද ඇත.
උත්‍රසල නැකත
මෙම නැකතින් උපන් අය සමාජයේ කීර්තියට ලක්වෙයි. ප්‍රීSතිමත් විනෝදකාමී දිවියක් ගත කරයි. ශූර වීරකම්වලින් ජනයා අතර ප්‍රසිද්ධ වෙයි. කාන්තාවක් නම් සිය ස්වාමිපුරුෂයාට උසස් අන්දමින් සලකයි. ලස්සන දූ දරුවන් ලැබීමට වාසනාව ඇත.
සුවන නැකත
දුරදිග බලා කටයුතු කරන ගුණගරුක අයෙක් වේ. ගුප්ත ශාස්ත්‍ර ආදියට මහත් ලැදිකමක් දක්වයි. මෙම නැකතින් උපත ලද කාන්තාව නියම නාරි ලාලිත්‍යයෙන් හෙබි දුටුවන් මන පිනවන්නියකි. ඥානවන්තය. චරිතය ද යහපත් ය.
දෙනට නැකත
මෙම නැකතින් උපන් අය ඥානවන්තය. ක්‍රියාශීලීය. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තය. ආත්ම විශ්වාසයෙන් යුතු අය වෙති. නිදහස තදින් අගය කරන ඔවුන් පටන් ගත් කාර්යයක් වෙතොත් එය කෙසේ හෝ අවසානය දක්වාම කරගෙන යයි.
සියාවස නැකත
තමන්ගේ ආගම පිළිබඳව මහත් භක්තියක් ඇත. අන්‍යයන් අතර ප්‍රශංසා ලබයි. ස්ථානෝචිත ප්‍රඥාවක් ඇත. කාම සම්පත් කෙරෙහි උදාසීන බවක් දක්වයි. එය පාලනය කර ගැනීමේ හැකියාවක් ද ඇත.
පුවපුටුප නැකත
ප්‍රියමනාප ගති පැවතුම් ඇත. බාහිර පෙනුමෙන් මෙන්ම අභ්‍යන්තර ගුණධර්මවලින් ද පිරිපුන් අය වෙති. ඥානවන්තය. ඉගෙනීමට ද දක්ෂකමක් පෙන්වයි.
උත්‍රපුටුප නැකත
මෙම නැකතින් උපන් අය තම මතයටම අනුව ක්‍රියා කරයි. දරදඬු සිත් ඇත්තෝ වෙති. දුක් කරදර දරා ගැනීමේ ශක්තිය ඇත. අරපිරිමැස්මෙන් කටයුතු කරන හෙයින්, මසුරු බවක් ද පෙන්නුම් කරයි. රහස් රැක ගැනීමේ ශක්තියක් ඇත.
රේවතී නැකත
මෙම නැකතින් උපන් අයට රූමත් ශරීරයක් හිමිව ඇත. ධනවත් භවභෝග සම්පත් ඇති අයයි. ගෞරවනීය ජීවිතයක් ගත කරයි. කාන්තාවක් නම් ඇයගේ රූපශ්‍රීය කාගෙත් සිත් ගන්නා සුලුය. ධන ධාන්‍ය හිමි වීමේ භාග්‍යය ද හිමිය.