ප්‍රශ්නය - විවාහය යනුවෙන් හඳුන්වන්නේ කුමක්‌ද? පෝරුවේ නැඟීමද? නැත්නම් ලියාපදිංචි කිරීමද?
පිළිතුර ( විවාහය කියන්නේ ඔය කාරණා දෙකම නොවේ. පෝරුවේ නැංගත් ලියාපදිංචි කළත් විවාහක යුවළ දෙපැත්තක ජීවත් වෙන්න පුළුවන්. යම් යුවළක් සෙනෙහසින් බැඳී ලිත් වර්ෂයකට වැඩි කාලයක් එකට ජීවත් වීමටයි විවාහය කියල ජ්‍යෝතිෂයේ හඳුන්වන්නේ.
ප්‍රශ්නය - පොරොන්දම් බලනවා කියන්නේ මොකක්‌ද?
පිළිතුර - පොරොන්දම් බලනවා කියන්නෙ යුවළක් කේන්ද්‍රයේ සඳහන් වන කරුණු විස්‌සක් අනුව ගැලපෙනවාද යන්න පරීක්‍ෂා කිරීමයි. මේ කරුණු විස්‌සම ගැලපෙන අය බොහොම දුර්ලභයි. විස්‌සෙන් පහළොවක් ගැලපෙනවා නම් සීයට හැත්තෑපහක් ගැලපෙනව කියනව. ඕක බලාගන්න පුළුවන් පරිගණක මෘදුකාංග වුණත් දැන් ඕනතරම් තියෙනව.
ප්‍රශ්නය - පොරොන්දම් ගැලපීම අනුව විවාහය ගැන තීරණය කරන්න පුළුවන්ද?
පිළිතුර - පොරොන්දම් බලලම විවාහය ගැන හරියට තීරණයක් දෙන්න බෑ. ඒක අසම්පූර්ණයි. පොරොන්දම් පරීක්‍ෂාවෙන් විතරක් විවාහය ගැන තීරණය කරන්න පුළුවන් කියල පැරණි ජ්‍යෝතිෂ ග්‍රන්ථවල ලියල නෑ. පොරොන්දම් පරීක්‍ෂාවට පෙරත්, පසුත් බලන්න ඕන කාරණා තියෙනවා.
ප්‍රශ්නය - මොනවද ඒ කාරණා?
පිළිතුර - බලාපොරොත්තු වෙන සහකරුට අල්ප ආයුෂ ද කියල බලන්න ඕන. ආයුෂ අඩුනම් විවාහ වෙලා වැඩක් නෑ. අනික බාහිර කරුණුත් බලන්න ඕන. පෙනුමට ගැලපෙනවද කියල. හරියට ආගම් දෙකක, ජාතීන් දෙකක, ලොකු වයස් පරතරයක අය ගැලපීම අඩු වෙන්න පුළුවන්. මේව බලන්න ඕන කලින්ම. පොරොන්දම් බලන්න ඕන ඊට පස්‌සෙයි. අනික සහකරුගේ චරිත ස්‌වභාවය. ඒ කියන්නේ කාමාධික ද, බෙලහීන ද, අවාසනාවන්ත කෙනෙක්‌ද, තද කේන්තිකාරයෙක්‌ද? ඔය වගේ කාරණා වෙනමම කේන්ද්‍රය අනුව බලන්න ඕන.
සමහරුන්ට විවාහ එකකට වඩා පෙන්නනවා. බහු විවාහ යෝග, සමහරුන්ට විවාහය උරුම නැති බවට කේන්ද්‍රය පෙන්නනවා. මේව ගැන පොරොන්දම් විස්‌සෙන් විතරක් බලන්න බෑ. කේන්දරේ විවාහය ගැන පෙන්නන හත්වැන්න දුර්වලනම් වාසනාවන්ත විවාහයක් උරුම නෑ. මේව විශේෂයෙන් බලන්න ඕන දේවල්.
ප්‍රශ්නය - බටහිර රටවල ඔය පොරොන්දම් බලනව වගේ දේවල් කරන්නේ නෑ නේද? ඒව මිථ්‍යා මත විදිහට නේද සලකන්නේ.
පිළිතුර - මේ ශත වර්ෂයෙ මහා උත්කර්ෂවත් විදිහට කරපු මංගල උත්සවය මොකක්‌ද? චාල්ස් - ඩයනා විවාහ මංගල්‍යය නේද? ඒකට මොකද වුණේ. ඛේදවාචකයකින් නේද කෙළවර වුණේ. චාල්ස් - ඩයනා විතරක් නොවේ. බටහිර රටවල විවාහ කඩාකප්පල් වෙනව වැඩියිනේ. ලංකාව වගේ පෙරදිග රටවල ජ්‍යෝතිෂය අනුගමනය කිරීමත් විවාහ සුරක්‍ෂිත වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්.
දැන් චාල්ස් කුමාරයාගෙ ලග්නෙ කටක අස්‌විද නැකතෙන් ඉපදුණේ. ඩයනා ධනු ලග්න හිමිකාරියක්. මේ කේන්ද්‍ර දෙකේ ගැලපීම මදි බව ජ්‍යෝතිෂය අනුව පේනවා. අනික ලංකාව හුඟක් දියුණු යුගවල ජ්‍යෝතිෂයත් හුඟක් දියුණු මට්‌ටමක තිබුණ බව තහවුරු වෙනවා. අපි යමක් පිළිගන්න ඕන ඒක බටහිර මිනිස්‌සු පිළිගන්නවද කියල බලල නොවේ. හරිද නැද්ද කියල හොයල බලලයි.
ප්‍රශ්නය - උගත්කම දැනුම තියෙනව නම් ඔය ඕන ප්‍රශ්නයක් විසඳගෙන යහපත් විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් නේද?
පිළිතුර - එහෙම වෙනව නම් උගතුන්ගේ විවාහ ජීවිත වඩා යහපත් වෙන්න ඕන. එහෙම නෑනේ. ආචාර්ය මහාචාර්යවරු වගේම වෛද්‍ය, ඉංජිනේරු, නීති විශාරදයන් අතරත් ඒ පවුල් අවුල් අනන්තවත් තියෙනව. ඔයින් සමහරුන්ට විවාහ ජීවිතයවත් උරුමවෙලා නෑ. අවිවාහක අය බොහෝමයි.
ප්‍රශ්නය - ඒ කියන්aනේ අවබෝධයෙන් කටයුතු කර යුගදිවිය සාර්ථක කර ගන්න බැරිද?
පිළිතුර - අවබෝධය කියන්නේ යුග දිවිය ගැන අවබෝධය නම් ඒක හරි. ආර්ථික විද්‍යාව, නීතිය නැත්නම් වෙනත් විෂයයන් ගැන අවබෝධය විවාහයට අදාළ නෑ.
පොරොන්දම් පරීක්‍ෂා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මේ අවබෝධය ලැබීමයි. ඒ කියන්නේ ගැලපෙන කාරණාවලටත් වඩා නොගැලපෙන කාරණා ගැන දැන ගැනීමයි. මේ අවබෝධය තියනව නම් විවාහය සාර්ථක කරගන්න පුළුවනි.
ප්‍රශ්නය - විවාහයක් උරුම නැති අයත් ඉන්නවද? ඒක කේන්ද්‍රය බලල කියන්න පුළුවන්ද?
පිළිතුර - විවාහ උරුම නැති අය ඉන්නව. යම් කෙනකුට පැවිදි යෝග යෙදිල තියෙනව නම් ඒ අය කම්සැපට කැමැති නෑ. ඒවට කියනව �ණ යෝග කියල. සිදුහත් බෝසතාණන් වහන්සේගේ කේන්ද්‍රය වගේම බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ කේන්ද්‍රය, වගේ බහුශ්‍රැත ස්‌වාමින් වහන්සේලාගේ කේන්ද්‍ර බලනකොට මේක තහවුරු වෙනව.
අනික හත්වැන්න ශනි කුජ වගේ පාපයන්ගෙන් පීඩාවීම. නිසා විවාහය වළකිනව. අභාවප්‍රාප්ත ඩඩ්ලි සේනානායක අගමැතිතුමා, සර් ජෝන් කොතලාවල අගමැතිතුමා, අනුර බණ්‌ඩාරනායක මැතිතුමා වැනි අයගේ කේන්ද්‍රවල හත්වැන්න කු=ජ ශනි ගේ පීඩාවලට ලක්‌වෙලා තිබුණ බව පේනවා. ඒ තුන්දෙනාටම විවාහ වෙන්න බැරිකමක් තිබුණේ නෑ. ඒ වුණත් මේ බාධාව බලපෑව බව පේනවා. ඒවට කියන්නේ කලත්‍රදෝෂ කියල.
ප්‍රශ්නය - පොරොන්දම් ගැලපිලා නැකත් බලල කරන විවාහවලත් අවුල් ඇතිවෙනව නේද?
පිළිතුර - එහෙම වෙන්නත් පුළුවනි. කිසිම යුවළක් සීයට සීයක්‌ම ගැලපෙන්නෙ නෑ. නොගැලපෙන ප්‍රමාණය සියයට විස්‌සක් නම් ඒක මතුවෙන අවස්‌ථා උදාවෙනවා. විශේෂයෙන් අපල කාල සීමාවක මේක වෙන්න පුළුවන්. ගෙදර වාස්‌තු දෝෂ, අමනුෂ්‍ය දෝෂ නිසාත් වෙන්න පුළුවනි. ඒ නිසා ගැටලු මතුවෙනකොට වරින් වර කේන්ද්‍ර පරීක්‍ෂා කරල බලන්න ඕන.
ප්‍රශ්නය - සමහර තරුණ තරුණියන්ට සියලු දේ තිබුණත් විවාහයක් නෑ. වයසට යනව. මේක දෙමවුපියන්ටත් අසහනයක් වෙලා. විවාහ ප්‍රමාදයට ජ්‍යෝතිෂයෙන් පිළියම් තියෙනවද?
පිළිතුර - පිළියම් තියෙනව ඒකට ප්‍රශ්නය හඳුනා ගන්න ඕනෑ. විවාහ ප්‍රමාදයට හේතුව මොකක්‌ද කියල. කේන්ද්‍ර පරීක්‍ෂාව වගේම තත්කාල ශාස්‌ත්‍රයත් ඒකට උපයෝගී වෙනව. කේන්දරය අනුව පැවිදි යෝග නැතිනම් අවිවාහක යෝග තියෙනවද කියල දැන ගැනීම අවශ්‍යයි. තදබල විදියට අවිවාහක යෝග තියනව නම් ඒකට ප්‍රතිකර්ම කිරීම පහසු නෑ. ඒ වුණත් ගත වෙන්නෙ තදබල ඒරාෂ්ටක අපලයක් වගේ දෙයක් නම් ඒකට අදාළ ශාන්තිකර්ම කරන්නෙ නැතුව විවාහය සාර්ථක වෙන්නෙ නෑ. අපල කියන්නෙ ග්‍රහයො කරන දෙයක් නොවේ. අකුසල කර්ම විපාකයි. ශාන්ති කර්ම නැතිනම් කුසල කර්මවලින් මේවා යටපත් කරන්න පුළුවනි.
සමහර විට වැරදි විදිහට මැණික් පැළඳීමත් නැතිs අපල ඇති කරනව. පත්තිනි දේවමෑණියන්ට බාර වීම විවාහ ප්‍රමාදයට සාර්ථක පිළියමක්. ඒකත් ජන්ම පත්‍රය අනුව කරන්න ඕන.
ප්‍රශ්නය - විවාහයෙන් පස්‌සේ යුග දිවියේ ඇතිවන ගැටලුවලට ජ්‍යෝතිෂය අනුව කළ හැක්‌කේ මොනවාද?
පිළිතුර - මුල ඉඳලම වැරදිලා තිsයන අවස්‌ථාවන් තියෙනව. කේන්දරය වැරදි නම් පොරොන්දම් පරීක්‍ෂාවත් වැරදියි. මංගල නැකතත් වැරදියි. එතකොට වරද්දගෙන තියෙන්නේ මුලදිමයි. ඒත් විවාහ වුණාට පස්‌සේ ඒව බලන්න ඕන නෑ. කොහොමත් ලැබෙන්නෙ කර්මානුකූලව ලැබෙන සහකාරයයි.
යුග දිවිය කොතරම් ගැලපුණත් හැමදාම එක වගේ නෑ. ප්‍රශ්න ඇති වෙනව. එතකොට ජ්‍යෝතිෂයට අනුව හේතුව හොයා බලන්න ඕනෑ. ග්‍රහ අපල, ගෙදර වාස්‌තු දෝෂ, අන වින, දෙවි දෝෂ, අමනුෂ්‍ය දෝෂ වගේම නොඉවසීම, දුරාචාරය, බීමත්කම වගේ දේවලුත් හේතු වෙන්න පුළුවනි. ප්‍රශ්න ශාස්‌ත්‍රයත්, ජන්ම පත්‍ර පරීක්‍ෂාවත් මගින් ප්‍රශ්නය හොයාගෙන විසඳගන්න පුළුවනි. ඒක මුලින්ම ඉක්‌මනින්ම කරන්න ඕන.
ප්‍රශ්නය - විවාහකයන්ට දෙන්න පුළුවන් පණිවුඩය මොකක්‌ද?
පිළිතුර - ගැටලුවක් විසඳන්න නම් ඒකට අදාළ හැම දෙයක්‌ම සොයා බලන්න ඕන. ඉවසීමෙන් හොයල බලන්න ඕන. ගැටලුවක් ඇතිවෙන්නෙ එක්‌කෙනෙක්‌ගේ වරදින් ම නොවේ. දෙන්නගේම වැරදි හේතු වෙන්න පුළුවනි. බාහිරවත්, ජ්‍යෝතිෂ්‍යය අනුවත් මේ කරුණු සොයා බලන්න. හරියට කරුණු හොයා බලනකොට ප්‍රශ්න ඉබේම විසඳෙනව. ඉවසීමත් හරිම වැදගත්.