සුව සෙත සලසන පිරමිඩ ශක්‌තිය



ජාත්‍යන්තර කීර්තියට පත් ඉන්දියානු මහාචාර්ය ජිතේන් බට්‌ මැතිතුමාගේ පිරමිඩ් යාන්ත්‍රණය ගැන පැවැත්වුණු දේශනයට ඊයේ දවස පුරා සවන් දුන්නෙමි. විශ්ව ශක්‌තිය නම් වචන දෙක මේ වනවිට ඔබත්, මමත් බොහෝ සේ අසා ඇතිවාට සැකයක්‌ නැත. එහෙත් මේ විශ්ව ශක්‌තිය යනු මට අත්දකින්නට ලැබුණු දෙයක්‌ නොවීය. එහෙයින්ම මා ඒ ගැන විශ්වාස කරන්නේ කෙසේද? සත්‍ය යෑයි නොදුටු කිසිවක්‌ මම විශ්වාස නොකරමි.

ඉන්දියානු ජාතික ගුරුතුමා වාස්‌තු ශාස්‌ත්‍රය හා විශ්ව ශක්‌තිය ගැන බොහෝ දේ මුළු දිනය පුරා පැවැසීය. මෙවැනි න්‍යායාත්මක දෙසුමක්‌ රසවත් වන්නේ අඩුවෙන් බව නොකිවමනාය. "හෙට ඔබට මේ කියන දේ ඇස්‌පනාපිටම දැනගන්නට හැකිවේවි"යි පාඨමාලාවේ සංවිධායකතුමා අපට දන්වා තිබුණි.

විශ්ව ශක්‌තිය ගලන්නේ ඊශාන දිශාවෙන් බව ලංකාවේ සිංහල පුවත්පත්වල හා විවිධ මාධ්‍ය ඔස්‌සේ දකින්නට ලැබේ. එබැවින් ඉඩමේ ඊශාන දිශාව හිස්‌ව තැබිය යුතුය. ඊශාන පැත්ත ගොඩනැඟිල්ලේද උස අඩුවිය යුතුය. උස විශාල ගස්‌ නොවැවිය යුතුය. ඒ විශ්ව ශක්‌තිය ගෘහය තුළට ගලා ඒමට ඉඩ සලසනු පිණිසය. එහෙත් අප එය දැක නැත. එසේ නමුත් මේ ජනප්‍රිය ප්‍රසිද්ධ වාස්‌තු නියමයකි.

"මෙය අතට ගන්න."

ගුරුතුමා අප අතට පත් කළේ කුඩා දන්වැලකින් අමුණන ලද පෙන්ඩියුලමයකි. (ඡෑභෘඹඛඹඵ) මේ වනවිට අපගේ දැතේ ඇඟිලි හා යටි පතුලට භාවිත කිරීම පිණිස ව්‍යායාම උපකරණ ලබාදී ඒවා පුහුණුකර තිබුණි. පෙන්ඩියුලමය භාවිතා කරන ආකාරය පුහුණු කරන ලදී. එය සරලය. දකුණු අතේ මහපටඟීල්ල හා දබර ඇඟිල්ල දම්වැල මුලින් අල්ලාගත් පසුව ලඹයක්‌ මෙන් පෙන්ඩියුලම් එක පහතට එල්ලී පවතී.

"මගේ ධන දිශාව පෙන්වන්න."

උපදෙස්‌ පරිදි මම දකුණතින් අල්ලාගත් උපකරණයට කීවෙමි. එය එක්‌තරා දිශාවකට චලනය වන්නට විය.

"චලනය වන දිශාව මතක තබා ගන්න."

ගුරුතුමා එසේ කීවේය. දැන් "සෘණ දිශාව පෙන්වන්න කියන්න" ගුරුතුමාගේ කීම පරිදි මම උපකරණයට කීවෙමි. පුදුමයකි. එය විරුද්ධ අතට චලනය වෙන්නට විය. ධන දිශාවට විරුද්ධ අතට සෘණ දිශාව පෙන්වන විට මේ දිශා දෙකම ගැන මතකයේ රඳවා ගන්නා ලෙස ගුරුතුමා උපදෙස්‌ දුන්නේය. එතැන් සිට කරන ලද අභ්‍යාසවලින් දුටු දේ පුදුම එළවනසුලුය. එය හරියටම අනාවැකි කියන පුද්ගලයකු මෙන් ක්‍රියා කළේය.

එක්‌තරා පාටකින් තිබූ කාසියක්‌ වැනි දෙයක්‌ අපට නොපෙනෙනසේ කුඩා කෝප්පයකින් වසා තබන ලදී. තවත් ඊට සමාන කෝප්ප කිහිපයක්‌ම තබා තිබුණි. කාසිය ඇති කෝප්පය කෝකදැයි අසනවිට හරියමට නිවැරැදිව ධන දිශාව පෙන්වීමට උපකරණය ක්‍රියාකළේය. කාඩ් කුට්‌ටමේ නියමිතකාට්‌ එකක්‌ තවත් කාඩ් හරතක්‌ සමඟ මුණින් අතට තබා (නොපෙනෙසේ) විමසනවිට එයද හරියමට පෙන්වූයේය. මෙවැනි ක්‍රියාකාරකම් රාශියක්‌ කරවන ලදී.

වඩාත්ම විස්‌මයජනක වූයේ ශාරීරික තත්ත්වයද මෙයින් නිරීක්‍ෂණය කළ හැකි වීමය. ශරීරය පාලනය කරන චන්ද්‍ර හත ගැන පසුගිය ලිපියකින් අපි ඔබට කීවෙමු. මෙම චන්ද්‍ර අක්‍රිය වනවිට පමණක්‌ ශාරීරික දුර්වලතා හෙවත් සෞඛ්‍ය ගැටලු ඇතිවේ. ඒවාට ශරීරයේ ප්‍රභාව ද (AURA) දුර්වලවෙයි. මෙම චන්ද්‍ර ශක්‌තිමත්ව පවතින්නේද යන්නත් ශරීර ප්‍රභාව පවතින දුරත් පෙන්ඩියුලමය මගින් නිරීක්‍ෂණය කළ හැකි විය. මෙම ක්‍රියාව සිදුවන්නේ කෙසේද? මම ගුරුතුමාගෙන් විමසුවෙමි. අප ප්‍රශ්න කරන දෙයට පිළිතුරු ලැබෙන්නේ කොයින්ද?

ඒ විශ්ව ශක්‌තිය (Universal Energy) මගින් බව එතුමා ප්‍රකාශ කළේය.

පෙන්ඩියුලමය මම හොඳින් නිරීක්‍ෂණය කර බැලුවෙමි. එහි දම්වැල අග එල්ලා ඇති කුඩා උපකරණය කුමක්‌ද? ඒ ඉතා කුඩා පිරිමීඩයකි. පිරමිඩය ලෝක පුදුමවලින් එකකි. පිරමීඩය යනු කුමක්‌ද? මම එය මෙසේ සරලව පැවසීමට කැමැත්තෙමි.

"විශ්වශක්‌තියේ ජීවමාන සංකේතය පිරමීඩය වේ".

විශ්ව ශක්‌තියේ කුඩාම ඒකකයක්‌ ලෙස එය නිපදවා ඇත්තේ පුරාණ රජ දරුවන් විසිනි. සියලුම පිරමිඩ ලෝකයේ විවිධ තැන්වල ඉදිකර ඇත්තේ ක්‍රිස්‌තුපූර්ව 3 හා 4 සියවස්‌වලදීය. ඊජිප්තුව ගැන කියන විටම සිහියට නැඟෙන්නේ පිරමිඩය.

මෑත කාලය දක්‌වා පිරමිඩය ගැන තිබූ විශ්වාසය වූයේ ඒවා තනා ඇත්තේ රජ පවුල්වල අයගේ මළමිනී තැන්පත් කරන්නට බවය. එහෙත් එය ඊට වඩා බොහෝ ප්‍රයෝජන ගතහැකි ඉදිකිරීමක්‌ බව මේ වනවිට සොයාගෙන තිබේ. ආචාර්ය ධාරා බට්‌ ලියා ඇති" Pyramid Yantra for vaastu. නම් ග්‍රන්ථයේ ඇය විසින් මෙසේ පවසා ඇත.

"මහා ඇලෙක්‌සැන්ඩර් රජු මහා පිරමිඩයේ ඇති රජ කුටියට ඇතුළුවූ විට වචනයෙන් විස්‌තර කළ නොහැකි හැඟීම පහළ වූ බව කියෑවේ. එය අද්දකින්නට ලැබෙන තෙක්‌ මම එය විශ්වාස නොකෙළමි. ඇත්තටම එම කුටියට ඇතුළු වූ විට ඇති වන්නේ පුදුම වෙනසකි. භාවනානුගත සමාධියක්‌ එවලේම ඇතිවේ. වචනයෙන් විස්‌තර කළ නොහැකි යමක්‌ මට අවබෝධ විය. මට දැනුණේ සිතේ ඒකාග්‍රතාවකි. මෙයට හේතුව රජ කුටියේත් පිරමිඩයේත් ඇති සංකලනයයි.

මෙයින් පෙනෙන්නේ විශාල පිරමිඩයක්‌ තුළ සාදන ලද විශේෂ කුටිය චිත්ත සමාධිය ලබා ගැනීම හෝ වෙනත් විශේෂ ශක්‌තීන් ලබා ගැනීම උදෙසා සාදා ඇති බවය. එහි විශේෂත්වය වන්නේ පාදමේ ඇති චතුරශ්‍රයත් පිරමිඩය හැදෙන ත්‍රිකෝණ හතරත් සුවිශේෂී මිනුම්වලින් යුත් ජ්‍යාමිතික හැඩයකින් යුතු උපකරණයක්‌ වීමය.

ඊජිප්තු මහා පිරමීඩවලට සමාන ජ්‍යාමිතික හැඩවලින් යුත් කුඩා ආකෘති සාදා පර්යේෂණ කරන්නට විද්‍යාඥයන් පෙළඹී ඇත්තේ මෑතකදීය. කාඩ්බෝඩ්වලින් සාදා ගන්නා එවැනි පිරමීඩයක්‌ දකින විට එහි කිසි විශේෂත්වයක්‌ නොපෙනේ. සුදු හිස්‌ කොටුවක්‌ වැනි දෙයකි. එහෙත් එයින් වසා තබන ලදුව රැවුල කපන බ්ලේඩ් තලයක්‌ නැවත මුවහත් විය. වියළි බැටරියක්‌ දුර්වල වූ විට නැවත ආරෝපණය කළ හැකි විය. වසා තබන ලද ආහාර නරක්‌ නොවීය. ඖෂධවල ගුණය වැඩිවිය. පිරමීඩයෙන් වසා තබන ලද ජලය ඖෂධයක්‌ම විය. පිරමීඩය තුළ භාවනා කළ හැකි නම් සිත වහා එකඟ වේ. සමේ රෝග, නින්ද නොයැම, රුධිර පීඩනය වැනි ආබාධ සුව කිරීමේ හැකියාව තිබේ.

අප ඉහත සඳහන් කළ පෙන්ඩියුලම් එකද කුඩා දම්වැලක අමුණන ලද ඉතා කුඩා පිරමීඩයකි. භූමිය ඇති කොටස විශාල ක්‌ෂේත්‍රඵලයක පැතිරුණද අහස දෙසට යන විට උල් හැඩයකින් නිමවීම මෙහි ස්‌වභාවයයි. පිරමීඩ විවිධාකාර වේ. බෞද්ධ චෛත්‍යය, ස්‌ථූප, වෙනත් ආගමික ගොඩනැඟිලිද මේ ආකාරයටම නිමකර ඇති බව පෙනේ. මෙම විවිධාකාර හැඩතලවලින් යුත් පිරමීඩවල ශක්‌තිය හඳුනාගත් නූතන විද්‍යාඥයෝ ඒවා වාස්‌තු දෝෂ නිවාරණය පිණිස යොදා ගැනීමට සමත් වී සිටිති.

ඒ කෙසේද? වාස්‌තු දෝෂයක්‌ යනු වැරැදි ලෙස ශක්‌තිය ගලනය වීමයි. උදාහරණයක්‌ වශයෙන් නිවසේ ප්‍රධාන දොර හෝ ගේට්‌ටුව ගැන බලමු. එය නිවසක ඉතා වැදගත්ම ස්‌ථානයයි. ශරීරයේ මුඛය යම් සේද නිවසේ දොරද එසේය. මුඛයෙන් ඇතුළු වන්නේ පෝෂ්‍යදායක පිරිසිදු ආහාර නම් ඒවා ශරීරය නිරෝගීව පවත්වා ගැනීමටත්, ශක්‌තිය ලැබීමටත් උපකාර වේ. එමෙන්ම අපිරිසිදු කිසිදු ගුණයක්‌ නැති දේ ආහාරයට ගැනීමෙන් විවිධ රෝගාබාධ වැළඳෙනවා ඇත. වළඳන්නේ විෂබීජ හෝ බැක්‌ටීරියා සහිත දේ නම් තත්ත්වය ඉතා අයහපත් වේ. ගෙදරක දොරද එසේය. වැරැදි ස්‌ථානයක සවිකර ඇති දොරක්‌ තුළින් අහිතකර ශක්‌තීන් නිවස තුළට ගලනය වේ. මේ හේතුවෙන් ගෙදර වාසය කරන්නන්ට විවිධ සෞඛ්‍ය ගැටලු හා ධන හානි මෙන්ම සිත් තැවුල්ද නිර්මාණය වනවා ඇත. ද්වාර චන්ද්‍රවලට අනුකූලව දොර පිහිටුවන්නේ මේ නිසාය.

එහෙත් දැනටමත් දොර පිහිටුවා ඇත්නම් කිරීමට සිදුව ඇත්තේ කුමක්‌ද? එය ගලවා නැවත සුබ ස්‌ථානයක සවි කිරීමයි. මෙය ප්‍රායෝගික ගැටලුවකි. එමෙන්ම වියදම්ද අධික වනවා ඇත. අනුමත උපකරණයක්‌ දොරේ සවි කිරීමෙන් මෙම ගැටලුවට විසඳුමක්‌ ලබාදීමට මෙකල හැකිවී ඇත්තේ පිරමීඩ යාන්ත්‍රණය මගිනි. එය පහසුය. වියදම් අඩුය.

වැරැදි ලෙස ඉහළ මාලයට යන පඩි පෙළ හෝ නිවසේ මුළුතැන්ගෙය පිහිටුවා ඇති නම් තත්ත්වය මීට වඩා දරුණු වේ. මුළුතැන්ගෙය නිවසක තේජෝ ධාතුවට හිමි දිශාවේ තිබිය යුතු වේ. මෙවැනි වරදක්‌ ද නිවැරැදි කිරීමට උපකරණ භාවිතා කළ හැකි වේ.

අප අවට පරිසරයේ ඇති ශක්‌තීන් දෙවර්ගයකට බෙදේ. ධන ශක්‌තිය හා සෘණ ශක්‌තියයි. බෝධිය, චෛත්‍යය හෝ විහාරයක්‌ වැනි ආගමික පරිසරයක ධන ශක්‌තිය අධිකය. රෝහල්, කර්මාන්ත ශාලා, සුසාන භූමි, ආදාහනාගාර අසල සෘණ ශක්‌තිය අධිකය. අපේම නිවසේද තත්ත්වය එසේය. නාන කාමර වැසිකිළි හා එම වළවල් අසල ශක්‌තිය සෘණ වේ. ජීවත් වීමට සුදුසු වන්නේ සමබර වූ ධන ශක්‌තිය ඇති පරිසරයකය. ධන ශක්‌තිය ඇතත් ආගමික ස්‌ථාන ජීවත් වීමට සුබ නොවේ. ඊට හේතුව එහි ධන ශක්‌තිය ඉතා අධික වීමය. ඕනෑවට වඩා විශාල ප්‍රමාණයක්‌ ආහාර අනුභව කළ නොහැකිවාක්‌ මෙන් අධික ධන ශක්‌තියද නොගැළපෙන පරිසරයක්‌ නිර්මාණය කරයි.

එහෙත් අධික වියදමක්‌ දරා මිලට ගත යුතු නාගරික ඉඩම් කැබැල්ලක ජීවත් වන අයට මෙම ධන හෝ සෘණ ශක්‌තීන්ගෙන් බේරීමට හැකි නොවේ. නිවස ඉදිරිපිට සුසාන භූමිය, අල්ලපු වත්තේම දේවාලය හෝ බෝධි වෘක්‍ෂය තිබෙන්නට පුළුවන. වෙන කළ හැකි දෙයක්‌ද නැත. ජීවත් විය යුතුය.

මෙවැනි අවස්‌ථාවකදී ඒ වෙනුවෙන් නිර්මාණය වූ විශේෂ උපකරණ අදාළ ස්‌ථානවල සවිකර ගැනීමෙන් ජීවත් වීමට සුදුසු පරිසරයක්‌ ඇති කර ගැනීමට හැකියාව ලැබේ. එහෙත් මේ වෙනුවෙන් විශේෂ පුහුණුව ලද ප්‍රවීණ වාස්‌තු උපදේශකවරයකුගේ සහාය ලබා ගැනීම අවශ්‍යම වේ. එය අවබෝධයෙන් යුතුවද, නිරවද්‍ය උපකරණ මගින් පමණක්‌ද කළ යුතු බැවිනි.

මෙම ලිපියෙන් ඔබට අනාවරණය කළේ හුදෙක්‌ වචනයට පමණක්‌ සීමාවී පැවති විශ්ව ශක්‌තිය හඳුනා ගැනීමටත්, එය අපට අවශ්‍ය පරිදි පාලනය කර අපේ යහපත සඳහාම යොදා ගැනීමටත් හැකි බවය. වාස්‌තු දෝෂ නිරාකරණය කර ගැනීම එහි ප්‍රමුඛ වුවද රෝග නිවාරණය, ප්‍රාර්ථනා ඉටුකර ගැනීම, ශරීර දුබලතා ජය ගැනීම ඇතුළු බොහෝ මානව අවශ්‍යතාවන් සපුරා ගැනීම ඊට අයත් වේ.

මෙම ලිපිය සකස්‌ කිරීම උදෙසා උදව් වූ මහාචාර්ය ජිතේන් භාවා ග්‍රන්ථයද ඉන්දියානු චෙන්නායි හී ජිතේන් පිරමීඩ් මධ්‍යස්‌ථානයේ ප්‍රධානි ජයකුමාර් බaතා ගුරුතුමන්ද ඊට මඟ පෙන්වූ එරන්ත විතානගේ මහතාද කෘතගුණයෙන් මතක්‌ කරමි. 
Previous
Next Post »