දමිතා අබේරත්න මේ දවස්වල ලොකු මන්නයකුත් අරගෙන මාළු පෙට්ටියකුත් මෝටර් බයිසිකලයක බැඳගෙන කොට්ටාව පාරේ වටේට “මාළු....... මාළු.......” කියලා කෑ ගහමින් ඇවිදින බව අපිට ආරංචි වුණා. දමිතා නිළිකම අතහැරලා මාළු වෙළෙඳාමටවත් බැහැලාද? අපි ඒ ගැන විමසන්නයි පසුගිය දවසක දමිතව හමු වුණේ. දමිතා කොහොමද මේ දවස්වල මාළු බිස්නස් සරුද?
අපොයි ඔව්. මේ දවස්වල මං කරන්නේ මාළු බිස්නස්. ජාතික රූපවාහිනියේ විකාශනය වන “රැජිණියෝ” ටෙලි නාට්‍යයේ නිර්මලාගේ චරිතය හින්දයි මට මාළු, මාළු, කිය කියා පාර දිගේ ඇවිදින්න සිදුවුණේ. ඇත්තටම මේ චරිතය මගේ ජීවිතයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්.
මොන විදියටද මේ චරිතය ගලාගෙන යන්නේ?
විශේෂයෙන්ම කියන්න ඕනේ “රැජිණියෝ” ටෙලි නාට්‍ය පුරාවටම කතා කරන්නේ කාන්තාවන්ට සිදුවෙන අසාධාරණකම් ගැන කියන එක. ප්‍රධාන චරිත පහ අතරින් මම නිරූපණය කරන්නේ මාළු නිර්මලාගේ චරිතයයි. මාළු නිර්මලා කියන්නේ බොහොම අහිංසක ගැහැණියක්. නමුත් පසුව බොහෝ තාඩන පීඩනවලට ලක් වෙලා. ඇය ශක්තිමත් කාන්තාවක්් බවට පත් වෙනවා. ඒ හින්දම කාට හරි අසාධාරණයක් සිදුවුවහොත්, ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න නිර්මලා දෙපාරක් හිතන්නේ නැහැ.
මේ වගේ චරිතයකට පණ පෙවීම ඔබට ලේසි වුණාද?
මම වෙජිටේරියන්. ඒ නිසා මාළු කපන කොටන වැඩ ටිකක් මට දරාගන්න අමාරු වුණා. ඒත් බොහොම අමාරුවෙන්, අකමැත්තෙන් මම දැන් මාළු කපනවා. සමහර දවස්වලට මම ගෙදර ඇවිත් පැයක් විතර නානවා. මොකද මාළු පෙට්ටියේ ගඳ මට ඉවසාගන්නම බැහැ. ඒත් චරිතෙට තියෙන ආශාව හින්දා හැම ගඳක්ම ඉවසාගෙන ඉන්නවා.
දමිතාත් මාළු නිර්මලා වගේ තීන්දු තීරණ ගන්න අවස්ථා තියෙනවද?
ඔය අහන්නේ මම මාළු නිර්මලාට සමාන වෙන අවස්ථා ගැන නේද? ඇත්තටම සමහර තැන්වලදී මම සමහර දේවල් කියනකොට හරි දැඩියි. නිර්මලා වගේම දෙයක් කියන්න තිබ්බොත් මං ඒ දේ කෙළින්ම කියනවා. ඒක මට පොඩි කාලේ ඉඳලාම තියෙන පුරුද්දක්. සමහරුන්ට මාව අල්ලන්නේ නැත්තේත් මම කෙළින් කතා කරන හින්දා වෙන්න ඇති. හැබැයි මං පොඩි කාලේ ඉඳලාම අහිංසක විදියට ජීවත් වෙන කෙනෙක්. ඒත් සමාජය විසින් සමහර තැන්වලදී අපේ හිත් ගල් කරනවා.
මේ දවස්වල මාළු නිර්මලාට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?
ප්‍රතිචාර නම් හරිම හොඳයි මං මෝටර් බයිසිකලේ පැදගෙන මාළු......... මාළු.......... කියාගෙන කොට්ටාව ගම වටේට යනකොට සමහරු ඇවිත් කියනවා ෂා... මරුනේ කෑ ගහන විදිහෙන් අපි ඇත්තටම හිතුවේ ඇත්තම මාළු කාරියක් කියලයි. කොහොමත් මං කරන ඕනෑම චරිතයකට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. මං හිතනවා අපි දෙයකට අවංක වුණාම ඊට සොබා දහම විසින්ම හොඳ ප්‍රතිචාර ලබාගන්න අපට අවස්ථාව සලසා දෙනවා කියලා.
මාළු නිර්මලා කියන චරිතය එක්කම ජීවත් වෙන කොට අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇති නේද?
අපොයි ඔව්. මම මෝටර් බයිසිකලේ පදින්න හරිම බයයි. ඒත් මාළු නිර්මලාගේ චරිතේ කරන කොට වැටි වැටී මෝටර් බයිසිකලේ පැදපු අවස්ථා හරි සුන්දරයි. ඒ වගේම මාළු කපන සිද්ධියත් මට අමතක කරන්න හරිම අමාරුයි. ඒක මගේ ඔළුවේ දිගටම රෙජිස්ටර් වෙලා තියෙනවා. මං මාළු මන්නේ අතට ගත්තාම දෙයියනේ සමහරු මිනිසුන්ව කපන්නෙත් මේ විදියට නේද කියන මහා භයානක සිතුවිලි මගේ හිතට එනවා.
ඔබේ ඉදිරි කලා කටයුතු පෙළ ගැසී ඇති ආකාරය ගැන දැන ගන්නත් “රිද්ම” පාඨකයෝ කැමති වෙයි?
‘‘සල්සපුනා’’ ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. බොහෝ දෙනා මට කියනවා අපි සල්සපුනා බලන්නේ දමිතා ඔයා නිසාමයි කියලා. ඒ වගේම අයිස්ක්‍රීම්, ස්වර කියන චිත්‍රපට දෙක එන්න තියෙනවා. ටෙලි නාට්‍ය ගත්තොත් වර්ණ, පූරී කියන නිර්මාණ දෙකත් ඉදිරියේදී විකාශය වෙයි.