අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා පුවත්පතක දැන්වීමක් පළ වී තිබිණි.
ආරක්ෂක අංශයකට සම්බන්ධ තරුණයෙකු මෙම දැන්වීම කියවා එම තරුණිය පසුව දුරකතනයෙන් සම්බන්ධ කරගත්තේය. තමන්ගේ දෙමාපියන් මිය ගොස් ඇති අතර අනුරාධපුරයේ පුංචි අම්මා කෙනෙකුගේ නිවසේ සිටින බවත් නුගේගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන බවත් එම තරුණිය දුරකතනයෙන් ඔහුට දන්වා සිටියාය.
කෙසේ හෝ නිට්ටඹුව ආසන්න ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා දෙමාපියන්ට ද ඒ බව දන්වා පසුගිය සති අන්තයක දෙමාපියන් සහ තම මිතුරන් දෙදෙනෙකුද සමඟ වෑන් රථයකින් එම මනාලිය බැලීමට ගියේය. බැලූ බැල්මටම මධ්‍යම පන්තියට අයත් එම නිවසේ වටපිටාවේ සිටම මනාලයාගේත් දෙමාපියන්ගේත් සිත් ඇදී ගියේය. මනාලියද පැහැපත් සිත් ඇදගන්නා සිරුරකින් යුතු වූ අතර ඇගේ පුංචි අම්මා ඇය පිළිබඳව අසීමිත ලෙස වර්ණනා කළාය. එහෙත් එම පිරිස පැමිණීමත් සමඟ එම මනාලිය කිසියම් බියපත් ස්වභාවයකින් පසුවන බව මනාලයාට පෙණින. නමුත් ඔහුට ඒ සම්බන්ධ කිසිවක් සිතා ගත නොහැකි විය. වැඩිහිටියන් අතර ඇති වූ මූලික කතා බහෙන් පසු එම විවාහය සඳහා එදිනම මනාලයාගේ පාර්ශවයේ කැමැත් විණි. එහෙත් ආපසු එන ගමනේ දී මනාලයාගේ යහළුවෙක් මනාලයාගේ කණට කොඳුරා මෙවැන්නක් කීය.
"මචං උඹ මගේ පණ වගේ යාළුවෙක් හින්දයි මේ කතාව කියන්නේ; ඔය කෙල්ලව මම හොඳට දන්නවා. ඒත් හොඳ විදිහකට නෙමෙයි."
මිතුරා කියත්ම මනාලයා විස්මයෙන් ඇලලී ගියේය.
"උඹ කොහොමද ඒ කෙල්ලව දන්නේ? මචං මම මාසෙකට හමාරකට සැරයක් නාරාහේන්පිට පැත්තේ මසාජ් ක්ලීනික් එකකට යනවා. ඔය කෙල්ල වැඩ කරන්නේ ඒකෙ."
මිතුරා කියත්ම මනාලයාට දෙලෝ රත්විය.
"ඒකනම් කීයටවත් වෙන්ඩ බෑ; පොඩ්ඩක් හිටපං මං ඒකිගෙන් අහන්න." හනික දුකතනයේ වූ අංකයක් අමතන අතරේ මනාලයා කීය.
එහෙත් ඒ මොහොතේ ඇය ඊට පිළිතුරු නොදුන් අතර තවත් මඳ වේලාවකින් මනාලයාගේ දුරකතන අංකයට ඇගෙන් ඇමතුමක් ලැබිණ.
"ඔයාට මාව ගැලපෙන්නේ නැති බව දැන් ඔයාට තේරෙනවා ඇතිනේ. ඇය අසා සිටියාය."
"ඔව්; ඒත් ඇයි ඔයාලගෙ පුංචි අම්මා අරවගේ පහත් පෙලේ බොරුවක් කිව්වේ." මනාලයා කෝපයෙන් ඇසීය.
"අනේ එයාගේ කිසි වරදක් නෑ. මට එයාව කොහොම හරි ජීවත් කරන්න වෙන ක්‍රමයක් නැති හින්දයි මම ඔය වගේ රස්සාවක් තෝරගත්තේ. ඔයාට ගැලපෙන සුදුසු මනමාලියෙක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා."
එම යුවතියගේ හඬ නෑසී යන ලද්දේ සිහින් ඉකි බිඳුමක් ද සමගිනි.